පාසලක් කියන්නේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් තැනක්. එහෙම ස්ථාන වැඩි දියුණූ කිරීමෙන් අපේ රටේ දරු පරපුර, තරුණ පරපුර බුද්ධිමත් භාවයෙන්, හැදියාවෙන් වැඩිදියුණූ වෙනවා. ඒ තුළින් ඔවුන් නොමග යාමේ ප්‍රවණතාව අවම වෙනවා. ඒ නිසා පාසලක් අරිනවා කියන්නේ බන්ධනාගාර වැසෙනවා කියන හේතුසාධක සහිත කතාවක්. නමුත් ගෙවල් හදනවා කියන එක ඒ වගේ කටයුත්තක් නොවෙයි. රටක් සංවර්ධනය කළ යුතුයි. හැබැයි ජනතාවට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි ඒ දේවල් සිදුකළ යුත්තේ. එහෙම නැතිව සංවර්ධනය කරනවා කියලා ජනතාවට ලක්ෂයක් දෙකක් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු කරන එක නෙමෙයි කළයුත්තේ ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ, ඊයේ (31) පස්වරුවේ කොළඹ 11, ඕල්කට් මාවතේ පොදු වෙළද සංගමයට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන් හමුවේ, ඕල්කට් මාවතේ සිදුවෙමින් පැවති වෙළදාම් වලට තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවිය. මේ වනවිට එම අස්ථාවර තත්ත්වයන් පහව ගොස් ඇති බැවින්, එසේ ක්‍රියාත්මක කිරීමට යෙදුන තාවකාලික තහනම ඉවත්කර, වෙළද සංගමයට ඇතිවී තිබෙන අපහසුතාවන් ඉවත් කිරීමට පොලීසිය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව, මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා එකගත්වය පළකළේය.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
ඕල්කට් මාවත පොදු වෙළද සංගමයට ඇතිවෙලා තිබෙන ගැටළු විසදන්න තමයි අද අපි මේ ආවේ. පාසකු ඉරිදා ඇතිවූ ඛේදනීය තත්ත්වයත් සමගින් ඇතිවූ රටේ අනාරක්ෂිතබව හමුවේ මේ ප්‍රදේශයේ සමහරක් ස්ථාන වල වෙළදාම් කිරීම අත්හිටුවන්න සිදුවුණා. මේ වනවිට එම භයානක තත්ත්වය පහව ගොස් ඇති නිසා, නැවතත් එම අත්හිටවූ වෙළදාම් කරන්න ඉඩලබාදී තිබෙනවා. නමුත් තවත් සමහරක් ස්ථාන වල තවමත් වෙළදාම් කරන්න අවසර දීලා නැහැ. පොලීසියත් සමග සාකච්ඡා කරලා, අදාළ ස්ථානයන් වලත් පනවා ඇති තහනම ඉවත් කරලා, ඇති වී තිබෙන ගැටළුසහගත තත්ත්වයන් ඉවත් කරන්නයි අද මම මේ නිරීක්ෂණයට සහභාගි වුණේ යැයි පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණය පිළිබදව මාධ්‍යයට කරුණු දැක්වූ අමාත්‍යවරයා..,
අපි බොහොම සෘජුයි. දවසින් දවස අපි වෙන වෙන තාල තියන්නේ නැහැ. එක එක්කෙනා එහෙ මෙහෙ කෑගැහුවට අපේ තීරණ වෙනස් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. නමුත් තවමත් අපි පක්ෂයෙන් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ යැයි පැවසීය.
මාධ්‍ය විසින් වැඩිදුරටත් නැගූ පැනයකට පිළිතුරු දුන් කරුණානායක මහතා..,
මුහුණුපොතේ එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට මඩගසන්න ලක්ෂ 03 ක් වියදම් කරලා කියලා. තඹ සතයක් නොවටින කෙනෙක්ට මඩගහන්න ඇයි මම වියදම් කරන්නේ. ඒ කියන අය තමයි එහෙම දේවල් කරන්නේ. එයාලා ඒ දේවල් කරලා හිර වුණාම, අනිත් අයට පද හදනවා. මේ වගේ විලිලැජ්ජා නැති කතා කියන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියන එක වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගත්ත අපිටත් ලැජ්ජාවක් යැයි පැවසීය.