ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

Spread the love

“අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

“ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. තවත් පක්ෂ වලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. තව නොබෝ දිනකින් රටම ජයග්‍රහණය කරන්න හැකියාවක් ඇති අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ. තරගකාරීත්වයක් තුළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපේ පක්ෂයට තිබෙනවා. අපි ආරම්භයේ පටන්ම කිව්වේ, රටට ආදරයක් තියෙන, වැඩක් කරන්න හැකියාවක් තියෙන, පරිනතභාවයකින් යුක්ත, එක්සත් ජාතික පක්ෂය සැබෑ ලෙසම නියෝජනය කරන්න හැකියාවක් ඇති, සියලු ජාතීන්, සියලු ආගම්වල රටවැසියන්ට සමසේ සැලකීමට හැකියාවක් ඇති, ඒ වගේම ජනතාවගේ හදවත් හදුනන කෙනෙක් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා කියලයි. අපි ඒ ආකාරයෙන්ම ඒ දේ ඉෂ්ට කරනවා.

අද රටේ සෑම කොනක්ම නිහඩව සංවර්ධනය වීගෙන යනවා. අපි පම්පෝරි ගහන්නේ නැහැ. පෙර පැවති රජයන් විසින් සිදුකළ කාර්යයන්ට වඩා, ඒවාට ලබාදුන්න ප්‍රචාරණය වැඩියි. නමුත් අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන, ස්වෛරීභාවය, ඒකියභාවය ආරක්ෂාවන පරිදි, ජනතා හදවත් වලට දැනෙන පරිදි සමස්ත රටම එකම ආකාරයෙන් සංවර්ධනය කරන්නයි. අපි ඒ දේ කරගෙන යනවා. මම මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉන්න දවස්වල තමයි ප්‍රචාරණය වෙනුවෙන් නාස්ති කරන මුදල් ප්‍රමාණය අවම කළේ. සමහර අවස්ථා වලදී අපි කරන සංවර්ධන කාර්යයන් රටට පෙන්නුම් කරන්න නොලැබෙන එක අවාසියක් තමයි. නමුත් අපි සැබෑ සංවර්ධනයක් කරන නිසා, ඒ සංවර්ධනය ජනතා හදවත් වලට දැනෙනවා.

අපි 2015 දී ඉලයට පත්වුණ අවස්ථාවේදී කිව්වා වංචාව, දූෂණය වලක්වනවා, වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන්න ක්‍රයාත්මක වෙනවා කියලා. අපි ඒ සදහා කටයුතු කළත්, නීතිය පැත්තෙන් සිදුවන කාර්යයන් වලට අපිට බලපෑම් කරන්න හැකියාවක් නැහැ.. වැරදිකරුවන් උසාවියට රැගෙනගොස්, ඔවුන් නිදොස් කරනවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම කළොත් කියන්නේ අපි නීතියට ඇගිලිගැසීම්, දේශපාලන බලපෑම් කරනවා කියලනේ. මේ වකවානුව තුල වැඩියෙන්ම තාඩන පීඩන එල්ලවුනේ අපේ පාක්ෂිකයින්ට” යැයි පැවසීය.

RSL

Related Posts