එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ගැටළුවක් හෝ කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය පරිදි, අවශ්‍ය දේ කරනවා..(වීඩියෝ)

Spread the love

“ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිවෙලා කියල ඒ තුළින් අපට පැහැදිළිව පේනවා. ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේ කෙටි කාලය තුළ ඒ දේවල් යතා තත්ත්වයට පත්කරගන්නට නොහැකි වුණොත්, ලබන වසරේ අප්‍රේල් මාසය වෙද්දි ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. රට ඉලක්ක කරගනිමින්, ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළඹිලා තිබෙන්නේ.  ඒ වෙනුවෙන් සියලු බේද ඉවතදාලා, එක්සිත්ව එක්සත්ව කටයුතු කලයුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ජනතාව තුළින් ජනතා වරමක් ලබාගෙන කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා. ඒ තුළින් එදා ඩී.එස්. සේනානායක බිහි කරපු, මෙතෙක් කාලයක් නොයෙක් නායකත්ව යටතේ ඉදිරියට ගෙනාව එක්සත් ජාතික පක්ෂය, තවදුරටත් ජයග්‍රහණයේ මාවත කරා ගෙනයන්න අපි කටයුතු කරනවා “යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (21) පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදිය ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙම උත්සවය අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කරුණානායක මහතා,

“එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් පක්ෂයක්. ඒ නිසා අපි එළඹෙන මැතිවරණයටත් අත්වැල් බැදගෙන  එකට කටයුතු කරන්න සූදානමින් සිටිනවා. 2020 වනවිට අපේ පක්ෂය නිරන්තරයෙන් සුවිශාල ජයග්‍රහණයක් හිමිකර ගන්නවා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා.

ආණ්ඩු වෙනස්වන විට නොයෙක් නොයෙක් දේවල් සිද්ධ වෙනවා. එහි ප්‍රථිපලයක් වශයෙන් තමයි, අපේ පක්ෂයේ මන්ත්‍රීවරු මේ වනවිට අත්අඩංගුවට පවා පත්වී සිටින්නේ. ඒවා සාමාන්‍ය දෙවල්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් මෙවැනි අවස්ථා වලදී ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින්, යම් ක්‍රමවේදයක්, නීතියක්, පොලීසියට උසාවියට ගරු කිරීමක් අනුව කටයුතු කළ යුතුයි. වසර 5 ක් තිස්සේ අපි කටයුතු කළෙත් ඒ අන්දමින්. මොනදේ සිද්ධ වුණත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වනවරිදි කටයුතු කල යුතුයි. මෙවැනි ප්‍රශ්න ඇතිකිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ එකමුතුභාවය හෝ මේ පක්ෂය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය නැති කරන්න හැකිවෙන්නේ නැහැ. අපේ පක්ෂය තුළ නිසිම ගැටළුවක් කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි අවශ්‍ය දේ අපි කරනවා.

රටට කරන්න පුළුවන් හොදම දේ කරන්න අපි සැමවිටම සහයෝගය දෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය ගන්නා යහපත් තීරණ වලට අපි සහයෝගය ලබාදෙනවා. නැව් එන්නේ නැති වරායක් පවත්වාගෙන යමින්, නිකරු‍ණේ අහිංසක ජනතාවගෙන් බදු මුදල් අය කරනවාට වඩා, එහි අයිතිය ලංකාවට තබාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න එක හොදයි. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මේ වනවිට යම් ස්ථාවරයකට පැමිණ ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ කරලා තිබෙන්නේ ආණ්ඩුවක් වශයෙන් රටට කළ යුතු යෝග්‍යම දේ තමයි. ආණ්ඩුවක් වෙනස් වුණා කියලා හැම දෙයක්ම වෙනස් වියයුතු නැහැ.

19 වන සංශෝධනය තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට, ජක ජීවිතය පහසු කරගන්න කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ.  අපි එදත් කිව්වා එම්සීසී ගිවිසුමෙන් රටට අහිතක් වෙන්නේ නැහැ කියලා. මේ වනවිට ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. එදා කිසිම කොන්දේසියක් නැතිව රටට ලබාගන්න තිබුණ දේ ලබාගන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ඒක ලබාගන්න වෙහෙසෙනවා. ඔවුන්ට එකපාරට උදේ රෑ වෙලා, රෑ උදේ වෙලා. දේශපාලනය තුළින් මේ වගේ ලාබාල වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි” යැයි පැවසීය.

RSL

Related Posts