අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වය ගන්න කෙනෙක් නැතිකම

Spread the love

“තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි හැංගි කටයුතු කරනවා මිසක්, සෘජුව තීරණ අරගෙන ගැටළු විසදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් පැහැදිළි, සෟජු නායකත්වයක් අවශ්‍යයි, විනයක් අවශ්‍යයි, රටට ආදරයක්, කැපවීමක් අවශ්‍යයි. නිදහස ලැබුණදා පටන් සෑම දෙයක්ම නිකන් දෙන්න සැලසුම් කළා. නමුත් අද වෙනකල් රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වුණාද. එදාටත් වඩා අද දුප්පත්කම වැඩිවෙලා. මේ වනවිට සංවර්ධනය වෙලා තිබෙන රටවල් ගැන සලකා බැලුවම අපිට පැහැදිලි වෙනවා, ඒ රටවල් අද දියුණූ වෙලා තිබෙන්නේ ජනතාවට සෑම දේම නිකන් දීලා නොවෙයි කියලා. දෙයක් ජනතාවට නිකන් දෙනවා කියන්නේ, තවත් පාර්ශවයක් විසින් ඒ දේ සදහා ගෙවනවා කියන එකයි. මෙන්න මේ අසමතුලිතතාවය නැති කරනකල් රටක් සංවර්ධනය කරන්න බැහැ” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

දුසුදුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පක්ෂ භේදයකින් තොරව දීපව්‍යාප්ත පදනමක් මත සමානුපාතිකව බෙදී යන අකාරයෙන් ලබාදුන් මෙම නව පත්වීම්, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ පුද්ගලයන් වෙත ලබාදුන් අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය ඇතුළු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

” ලං.වි.ම. කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකය තුල එක රැකියාවක් ලබාගන්න සියදෙනෙක් බලාගෙන ඉන්නවා. අද අපි මේ රැකියා ලබාදීලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොවෙයි. මේ රැකියාලාභීන් අතරෙ සෑම පක්ෂයකම පිරිස් සිටිනවා. ඒ නිසා මම මේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ රැකියා පාට වලට සීමා කරන්න, කොටු කරන්න එපා කියලා. ලං.වි.ම . කියන්නේ රටේ ජනතාවගේ ප්‍ර‍ධාන යටිතල පහසුකමක් සපයන ආයතනයක්. ඒ නිසා අද රැකියා ලබාගන්නා මේ පිරිසට මම කියන්නේ, ඔබ අද මෙම ආයතනයට සම්බන්ධ වෙන්නේ ඒ සේවය තවදුරටත් සාර්ථකව ඉටු කරන්නයි. එහෙම නැතිව පැය 8 ක් නිකන් ගෙවලා යන්න නොවෙයි. අපි ලංවිම තුළ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. එසේ නොවුනොත් රටේ සංවර්ධනයට එය මහත් බාධාවක් වෙයි.

අද ලංකා විදුලිබල මණ්ඩලය වසර 50 ක් සමරණ අවස්ථාවේ, ලංවිමත් වෙනස් ආකාරයකට අළුතින් සිතිය යුතුයි. මේ ආයතනයත්, රට ලෝකයට එකතුවීමේ වැඩපිළිවෙලට සම්බන්ධ විය යුතුයි. මෙය කොටස් 03 ක් යටතේ සිදුවිය යුතුය. එක් කොටසක් තමයි පාරිභෝගිකයා. පාරිභෝගිකයා ගැන අපි අළුතින් සිතිය යුතුයි. ඒ අනුව පෙර තිබූ ඒකාධිකාරිය වෙනස් කල යුතුයි. ඒ නිසා තමයි පාරිභෝගිකයා රජා යන සංකල්පය ඇති කලේ. ඒ වගේම පාරිභෝගිකයාට ක්ෂණික මෙන්ම ගුණාත්මක සේවයක් ලබාදිය යුතුයි. මීට ඉහතදි පාරි‍භෝගිකයා යම් විදුලි ගැටළුවක් දැනුම් දුන්නම, ඒ තතත්වය යතා තත්ත්වයට පත්කිරීමට දිනක් දෙකක් වැනි කාලයක් ගතවෙනවා. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වෙලා, වඩාත් ඉක්මන් සේවයක් සපයන්න ලංවිමට හැකිවෙලා තිබෙනවා. ඒ තුළින් තමයි ආයතනය ජනතාව වෙත වඩාත් සමීප වෙන්නේ. අද අපේ පාරිභෝගිකයෝ ලක්ෂ 72 ක් පමණ සිටිනවා. ඒ පාරිභෝගික පිරිස වෙතට මාසයකට වතාවක්වත් යන එකම ආයතනය ලංවිම පමණයි. ඒ අනුව ජනතාවට වඩාත් ලංවෙමින් හැගීම්බරව කටයුතු කලහැකි ආයතනයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක්. මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම. මොන ආයතනයද මේ විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙම අලාභය අඩු කරන්න, අපිට ලේසියෙන්ම විකුණූම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වන්නේ ජනන වියදම අඩුකිරීමෙන් එම අලාභය මකාලන්නයි. මුල් යුගයේ විදුලිය නිපදවූයේ දර වලින්. පසුව අපි ජල විදුලියට මාරු වුණා. මේ වනවිට ජල මූලාශ්‍රයන් සියල්ලම වාගේ අවසන් වී ඇති නිසාත්, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් තමයි පුනර්ජනනීය ප්‍රභවයන්, තාප බලාගාර වැනි විකල්පයන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. නිරන්තරයෙන්ම අපේ රටේ වර්ධනය වෙන විදුලි ඉල්ලුමට සරිලව සැපයුමක් ඇති කරන්න අපට තවම හැකිවෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගල් අගුරු වැනි මිල අවම ප්‍රභවයන්ට යන්නේ. නමුත් එහිදීත් නොයෙක් පිරිස් වලින් විරෝධතා මතු වෙනවා. කුඩා ජලවිදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න ගියත් එහෙමයි. පරිසර සංවිධාන වලින් විරෝධතා මතු වෙනවා. මේ තත්ත්වයන් නිසා අපි සූර්ය, සුළං වැනි ප්‍රභවයන්ට යොමු වුණා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු කියන්නේ සූර්ය සුළං වැනි ප්‍රභවයන් ස්ථිර ජනන සැලසුම් නොවන නිසා ඒවා වැදගත් නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. ඒ නිසා අපි එල්.එන්. ජී. තාක්ෂණයට යොමු වෙන්න තීරණය කරනවා. එහි මිල අවම නිසා අපි සැලසුම් කරලා තිබුණේ 2012 ඉදලා එල්.න්.ජී. වලින් විදුලිය ජනනය කරන්න. නමුත් මේ වනවිටත් ඒ තත්ත්වයට එන්න අපිට නොහැකිවෙලා තිබෙනවා. ලං.වි.ම. තුළ සැලසුම් සහගත වැඩපිලිවෙලක් තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කරලා නැහැ. විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මේවට වගකියන්න ඕන. දේශපාලඥයෝ නිසි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීම තමයි මේ ප්‍රමාදයන්ට හේතුව වන්නේ. මේ හැමදේකම අවසන් ප්‍රිතිඵලය තමයි, ඉන්ධන යොදාගනිමින් අධික මිලක් යටතේ විදුලිය ජනනය කරන්න සිදුවීම. ඉන්ධන මාෆියාවන් ඇති වන්නේ මේ හේතුවෙන්.

අපි නිර්භීතව නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම සැලැස්ම තුළින් ගල් අගුරු, එල්.එන්.ජී. පුනර්ජනනීය ශක්තිය තුළින් හැකිතරම් විදුලිය නිපදවන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙනුත් නොයෙක් බාධක එල්ල වෙනවා. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. ඒකයි මම කියන්නේ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. හැකිතාක් දුරට අපි පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි. විදුලි නිෂ්පාදනය වගේම විදුලිය සම්ප්‍රේෂණය, බෙදාහැරීම තුළ තිබෙන ගැටළුත් අපි විසදා ගතයුතුයි ” යැයි පැවසීය.

RSL

Related Posts