මේ වසරේ ලබාගත් අවසන් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක මූල්‍ය ඉතිරියක්

Spread the love

“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

“ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පවසන මූල්‍ය වංචාවන් සහ වෙනත් අක්‍රමිකතා පිළිබදව පසුගිය වකවානුව තුලදී අසන්නට ලැබුණ බවත්, ඒ අනුව මෙම කටයුත්ත රටේ විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍යය කටයුත්තක් වන බැවින්, ජාතික ධනය අපතේ නොයන ආකාරයෙන්, පූර්ණ විනිවිදභාවයක් තුළින් සිදුකිරීමට තමා දැඩි තීරණයකට පැමිණි බවත් ” විෂයභාර අමාත්‍යවරයා පවසයි.

“ඒ අනුව මෙම ගල් අඟරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත  සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42 ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් පවසන විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනූව 2019/2020 වාරයේ පලමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් (රු. 992,966,940/=) රටට ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කර ඇති බවද” වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති උදිත දේවසුරේන්ද්‍ර මහතා,

“රවී කරුණානායක අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වනවිට අපි දෙවරක් ගල් අඟුරු මිලදී ගැනීම් සිදු කළා. මේ වසරේ පෙබරවාරි මාසයේ අපි ගල් අඟුරු ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. මෙම මිලදී ගැනීම, ගිය වසරේ නොවැම්බර් මස සිදුකරන ලද මිලදී ගැනීමට සාපේක්ෂව ඩොලර් 10 ක පමණ අඩු මිලකට ගැනීමට හැකිවුණා. මින් පෙර එනම් අමාත්‍යතුමා විදුලිබල අමාත්‍ය ධූරයට පත්වීමට පෙර (2017 – 2018) කාර්තුවේදී මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 100.35 කට තිබු ටෙන්ඩරය ඇමතිතුමාගේ පත්වීමෙන් පසු මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලට ගන්නා ලදී. ඒ අනුව අපි මිලියන් 500 ක් වැනි අඩු මිලකට අපට ගල් අඟුරු  මිලදී ගැනීමට හැකි වුණා. ඒ සමඟම අපි ගල් අඟුරු  නැවක් හරවා යැවීමට කටයුතු කළා. මෙවැනි කටයුත්තක් සිදුවී ඇත්තේ ප්‍රථම වතාවටයි. ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ ගල් අඟුරු තොගයක් නිසයි අපිට එවැනි පියවරක් ගැනීමට සිදුවුණේ. බිලියන් එකක් වැනි අවම මිලකට අපිට එම ගල් අඟුරු තොගය ලබාගැනීමට අවස්ථාව තිබුණත්, ප්‍රමිතියෙන් තොර නිසා අපි එම තොගය නැවත හරවා යැවීමට කටයුතු කළා. අපට අවශ්‍ය වන්නේ වඩාත් ප්‍රමිතියෙන් ඉහළ ගල් අඟුරු සාධාරණ මිලකට ලබා ගැනීමටයි.

ඉන් අනතුරුව මේ අගෝස්තු මස අපි නැවත ගල් අඟුරු  ටොන් ලක්ෂ 03 ක් මිලදී ගත්තා. ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට අනුව මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 81.87කට මිලදී ගත් මිලට වඩා (2019/2020) පැවති ටෙන්ඩරය මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 63.45 ක මිල අඩුවකට ලබාගැනීමට හැකිවුණා.  එමගින් මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42ක මුල්‍ය වාසියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා .ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස සිදුකළ මිලදී ගැනීම් වලට සාපේක්ෂව, මේ වසරේ ගල් අඟුරු මිලදී ගැනීම  තුලින්  බිලියන් 02 ක් වැනි මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී තිබෙනවා. එය විශාල මූල්‍ය වාසියක්.

මුහුදේ පවතින රළු ස්වභාවය නිසා අපි සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරනු ලබන්නේ සැප්තැම්බර් මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ පමණයි. සැප්තැම්බර් මාසයේ 20 පමණ ගල්  අඟුරු ටොන් 60,000 ක පමණ නැවක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. එය නියමිත දිනට වඩා දින 03 කට කළින් ලංකාවට පැමි‍ණෙන බව අපට විශ්වාසයි. ඒ අනුව මේ දිනවල ප්‍රචාරය වන ආකාරයේ ගල් අඟුරු හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ” යැයි පැවසීය.

RSL

Related Posts