විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි!

Spread the love

ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබේ.

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට 12 දක්වා අඩු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පෙරේදා(11) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා වසරක කාලයක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යවරයා එහිදි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය.