SAITMහි නීත්‍යානුකූලභාවය ගැන වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කරයි

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ(17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් හමු වී මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සයිටම් ආයතනය නීතිවිරෝධී ආයතනයක් බැවින් කිසිසේත්ම එහි සිසුන් වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ නොහැකි බවත් වෛද්‍ය සභාව එම සිසුන් පිළි නොගන්නා බවත් වෛද්‍ය සභාවේ නියෝජිතයින් අනුර දිසානායක මහතා ඇතුළු පිරිස හමුවේ ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය සභාවේ නියෝජිතයින් 04දෙනෙකු සහ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ ක්‍රීර්තිමත් වෛද්‍යවරු 06දෙනෙකුගෙන් සමන්විත දස පුද්ගල අනුකමිටුවක් මගින් සයිටම් ආයතනය පිළිබඳ වාර්තාවක් සකස් කර ඇති බවත් කිසිසේත්ම සයිටම් හි සිසුන් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි නොකළ යුතු බවට ඉන් නිර්දේශ කර ඇති බවත් එය වෛද්‍ය සභාව ඒකමතිකව පිළිගෙන ඇති බවත් අනුර දිසානායක මහතා එහිදී මාධ්‍ය හමුවේ පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්, එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් ඇතුළු බොහෝ කණ්ඩායම් මෙම සයිටම් ආයතනයට එරෙහිව නැගී සිටින විට එම විරෝධයේම කොටස් කරුවෙකු ලෙස වෛද්‍යසභාවද පෙනී සිටින බවත් එසෙ තිබියදී ආණ්ඩුව ඉතාමත් වංචණික ලෙස මෙම නීතිවිරෝධී ආයතනයේ සිසු සිසුවිටන්ට උපාධිය පිරිනැමීමට පිඹුරුපත් සකසමින් සිටින බවත් ආණ්ඩුවේ එම මැදිහත්වීමත්, මැති ඇමතිවරු අත සැරිසරන කොමිස් මුදල් ඒ මේ අත සැරිසැරීමත් නිසා වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාවට ගැනීම නතර වී ඇති බවත් අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts