මංගල, චන්ද්‍රිකා, සජිත් අශුද්ධ සන්ධානයක්! (විශේෂ)

Spread the love

වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

වත්මන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යනු එදා සිට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අතිශය සමීපතම මෙන්ම විශ්වාසවන්තම දේශපාලන සඟයෙකු සහ ගේම්කාරයෙකු වන අතර එක්සත් ජාතික පක්ෂයේ බලය සහ නායකත්වය වෙනුවෙන් අගමැති සිහිනය පෙරදැරිව ක්‍රියාකරන්නෙකු බව නොරහසකි.

මංගලගේ මෙම “අගමැති” සිහිනය යථාර්තයක් කරගැනීම පිණිස ගොඩනැගෙන අශුද්ධ සන්ධානයෙන් හරහා මංගල සහ චන්ද්‍රිකාගේ මතවාදයන්ට බොහෝ සෙයින් විරුද්ධ ස්ථාවරයක මෙන්ම මංගලගේ දැඩි දේශපාලන විරුද්ධවාදියෙකු වූ එජාප නියෝජ්‍ය නායක සජිත්ව යොදාගන්නේ එජාපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙසට කිරුළු පලඳවමිනි. මීට මාස කිහිපයකට පෙර අවස්ථාවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය වහාම දැනුම් දිය යුතු බවයි. එහෙත් මේ වන විට ජනාධිපති සිරිසේනගේ ප්‍රතිරූපය සහ දේශපාලන කඩාවැටීම මත යළි ඔහු ජනාධිපතිධුරයට ඔසවා තැබීම කිසිලෙසකින් සිදුකළ නොහැකි බව දන්නා මංගල සජිත්ව ජනාධිපති කිරීමට පණ පොවමින් සිටී. හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වන මොහු විශ්වාස කරන ජ්‍යේතීර්වේදයට අනුවද ඒරාශ්ටකය නිමා කරමින් රාජයෝග උදාවීමට ජයගත යුතු අභියෝග කිහිපයක් ඇත. ඒ අනුව ජනාධිපති වීමේ කාලය කෙමෙන් ලඟාවෙමින් පවතින අතර පක්ෂ නායකත්වය සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටුම හොඳින්ම දන්නා ඔහු එය ජයගැනීම තනිව කළ නොහැක්කක් බවද දන්නා අතර මංගල වැනි දේශපාලන ගේම්කාරයෙකුගෙන් ඊට ලැබෙන සහය අතිශය වැදගත්ය.

මේ නිසාම ඉන් නිසි ප්‍රයෝජන ගන්නා දේශපාලන අංකූරකු වන මංගල සමරවීර සජිත්ව ජනාධිපති කොට තමා අගමැති වීම සඳහා මෙම අශුද්ධ දේශපාලන සන්ධානය තුළ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටී. ජන පදනමක් සහ පාක්ෂිකයින්ගේ ප්‍රසාදය ඇති සජිත් යොදා නියම මොහොතේදී පක්ෂ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාගැනීම තුළින් ගොඩනැගෙන රැල්ල තුළින් ඒ වන විට සුළු පක්ෂයක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සන්ධාගත වෙමින් ජනාධිපතිවරණය ජයගැනීමට හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවට වාර්තාවේ.

චන්ද්‍රිකාගේ භූමිකාව

එක්සත් ජාතික පක්ෂයේ අතකොලුවක් කරමින්, එජාපයෙන් පැන ආ සහ එලවා දැමූ අය යොදාගමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ල දක්වා දියකර හරිමින් සිටින එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉතිරි වසර එකහමාරක කාලය තුළ ශ්‍රීලනිපයේ ඡන්ද පදනම 3.5% ත් 4.7% අතර තත්වයකට වැටෙනු ඇත. එම අවස්ථාවේදී මෙම දේශපාලන මෙහෙයුමට සහය දැක්වීම මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කළහොත් ඊට විරුද්ධව නාමිකව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අවශ්‍ය දායකත්වයද චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලබාදීමට සැලැසුම් කර ඇති බවට වාර්තාවේ.

රාජිතට සහ චම්පිකට මංගලගෙන් කෙනෙහිලි

2015 ජනාධිපතිවරණ සටනට මෛත්‍රීපාල සිරිසේන සමඟ පණපෙවීමට පැමිණ මෛත්‍රීගේම අමන්‍යෝන දේශපාලන තීරණ හමුවේ අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ගාල් වීමට සිදු වූ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර තම ඇමතිධුරයේ බලය යොදාගනිමින් සූක්ෂම ලෙස විවිධ කෙනෙහිලි කම් සිදුකරන බවට අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි. රාජිතගේ සහ චම්පිකගේ අමාත්‍යංශවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මංගල විසින් සූක්ෂමව කපා හරිමින් සිටින අතර මෑතකදී සෞඛ්‍යය අමාත්‍යංශයට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ ලබාගැනීමට තිබූ මුදල්ද අවලංගු කොට ඇත.

එහෙත් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අවශ්‍යතාවයටත් වඩා ලබාදෙමින් සිටින බවට වාර්තාවේ. මෙහි පුදුමය නම් එදා එක්සත් ජාතික පක්ෂයේම සිට සජිත් විරෝධයක් මවමින් සජිත්ට තම වපසරියේ ඇති මාධ්‍ය උපයෝගී කරගනිමින් පහරදුන් මංගලම අද තම සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් සජිත්ව උසවාගෙන යෑමයි.

මංගලගෙන් සමාව අයැදින එජාප නියෝජ්‍ය නායක

තමාට අවැසි අයුරින් සජිත්ව නැටවිය හැකි යැයි සිතන මංගල තම ඉලක්කය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙලෙස සජිත්ව භාවිතාවේ යෙදවීමට කටයුතු කරන බවත් සඳහන්.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රුපියල අවප්‍රමාණය වීම සහ බඩු මිල ඉහළ යෑමත් ඒ තුළින් ජනතාව පත්ව ඇති අපහසුතාවය ගැන මුදල් අමාත්‍යංශය ජනතාව හමුවේ කරුණු දැක්විය යුතුබවටත් ප්‍රකාශ කරද්දී, එකවරම ප්‍රකෝපකාරී ලෙස සජිත් දෙසට කඩාපැන මංගල ප්‍රශ්න කර ඇත්තේ, “ඔබ කෙසේද ආණ්ඩුව බඩු මිල ඉහළ දමා ඇතිබව පවසන්නේ..? අපි තවමත් රාජපක්ෂලාට වඩා අඩුවෙන් බඩුමිල පවත්වාගෙන යන්නේ. මොනා පදනම් කරගෙනද ඔය කතා කරන්නේ..” යනාදී වශයෙනි.

ඒත් සමඟ තිගැස්සුනු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා තමා නැඟු ප්‍රශ්නයට මංගලගෙන් වරක් නොව දෙවරක් සමාව ඉල්ලා ඇතැයි ද වාර්තාවේ. මෙම සිදුවීම හමුවේ නි.නායක සජිත්, මංගල ඉදිරියේ මෙතරම් බැගෑපත් වනු දැක පුදුමයට පත්ව ඇත.

ආණ්ඩුවේ පාලනය මංගල අතේ

මේ වන විට ආණ්ඩුවේ සිටින ප්‍රබලතම සහ බලසම්පන්නම ඇමතිවරයා වන්නේ මංගල සමරවීරය. ඒ මුදල් සහ ජනමාධ්‍ය යන දෙසම මංගල අතේ නිසාය. සියලු අමාත්‍යංශවලට සහ මන්ත්‍රීවරුන්ට මුදල් ප්‍රතිපාදනයන් ගමන් කරන්නේ මංගල සමරවීර යටතේ වන අතර ඔහුට එරෙහිව කට අරින සහ විවේචනය කරන අයට පහරදීම අවශ්‍ය අතකොලුව වූ ජනමාධ්‍ය ඇමතිකමද ඔහු අතේය. මේ හේතුවෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නොදැවිනි අදෘෂ්ශමාන බලයක් ඇති කැබිනට් අමාත්‍යවරයා වන්නේ මංගල සමරවීරය. මුදල් සහ ජනමාධ්‍ය යන ප්‍රමබලම අමාත්‍යධුරය දෙක එක් ඇමතිවරයෙකු යටතට පත්කිරීමේ විපතට අද ආණ්ඩුවේ ප්‍රධානීන් දෙපළ සහ ආණ්ඩුවම කරගසා සිටින්නේද මේ නිසාය.

කෙසේ හෝ මේ හරහා මංගල, චන්ද්‍රිකා ද කැටුව තම ඉලක්කය වෙත සජිත්ව ආධාරකයක් ලෙස යොදාගනිමින් ගමන් කරමින් සිටී. එය දිනපතා බාල්දු වන රුපියලත්, කඩා වැටෙන ආර්ථිකයත්, ඒමතින් දියවී යන ආණ්ඩුවත්, ආර්ථික ඔස්තාර් ලෙස නම් දරා සිටි අගමැති රනිල්ට තිබූ පිළිගැනීමත් යන සියල්ල අකා මකා දමමින් මංගල ගමන් කරන්නේ තම පෞද්ගලික දේශපාලන ඉලක්කය වෙත බව පැහැදිලිය.

RSL

Related Posts