මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි

Spread the love

සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සයිටම් ආයතනය පත්වාගෙන යන වෛද්‍ය උපාධි පාඨමාලාව අහෝසි කරන බවට ආණ්‌ඩුව දුන් ප්‍රතිඥාව නිසා වසර දෙකක්‌ මුළුල්ලේ ශිෂ්‍ය සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට එරෙහිව ගෙන ගිය අඛණ්‌ඩ උද්ඝෝෂණ ව්‍යාපාරය පසුගිය නොවැම්බර් මස අවසන් කරනු ලැබුවේය. නමුත් අද වන විට ශිෂ්‍ය සංගම් හා වෛද්‍ය නිලධාරීන් පවසා සිටින්නේ ආණ්‌ඩුව ඒ දුන් ප්‍රතිඥාව පැහැර හැරීමට සැරසෙන බවයි. සයිටම් යනු පසුගිය ආණ්‌ඩුව විසින් පිහිටුවන ලද ආයතනයක්‌ යෑයි වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් විටින් විට කීවද, එය ආණ්‌ඩුවක්‌ විසින් ආරම්භ කරන ලැබූවක්‌ නොව, එම ආයතනයේ හිමිකරුවන් විසින් ආරම්භ කරන ලද පුද්ගලික ව්‍යාපාරයකි.

2008 ආරම්භක අවධියේදී මෙහි නම සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔෆ් ටෙක්‌නොලොජි ඇන්ඩ් මැනේඡ්මන්ට්‌ විය. මෙම ව්‍යාපාරය ආයෝජන මණ්‌ඩලයේ මුලින්ම ලියාපදිංචි වන විට එමගින් තොරතුරු තාක්‌ෂණය, ව්‍යාපාර කළමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, හෙද පාඨමාලා, සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක්‌ පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබුණද, වෛද්‍ය උපාධි පාඨමාලාවක්‌ ගැන සඳහනක්‌ නොතිබුණේය. ආයෝජන මණ්‌ඩලය විසින් මේ නව ව්‍යාපාරයට අනුමැතිය ලබාදෙනු ලැබුවේ සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාගනු ඇති බවට පූර්ව කොන්දේසියක්‌ද සහිතවය. මේ ආයතනය විසින් වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කරනු ලැබුවේ 2009 සැප්තැම්බර් මාසයේ සිටය.

ඒ මුල් අවස්‌ථාවේ සිටම තමන් සයිටම් ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පුවත්පත් වල ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම තුළින් ජනතාවට දැනුම්දෙනු ලැබුවේය. 2011 පෙබරවාරි මාසයේදී මේ ආයතනයේ නම සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔෆ් ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින් යනුවෙන් වෙනස්‌ විය. යම්කිසි පුද්ගලික අධ්‍යාපන ආයතනයකට වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක්‌ පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක්‌ තිබේ නම්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අධීක්‌ෂණය කිරීමේ හා වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ කටයුත්ත භාරව සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අදාළ පුද්ගලික ආයතනයේ වගකීම වන්නේය.

සයිටම් ආයතනයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ වූ අවස්‌ථාවේ සිට එම ආයතනයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයත් අතර ලියුම් විශාල ගණනක්‌ හුවමාරු වී තිබුණද මේ වෛද්‍ය උපාධි පාඨමාලාවට අවශ්‍ය අනුමැතිය වෛද්‍ය සභාවෙන් ලැබී නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්‌වාධීන ආයතනයක්‌ වන අතර මගේ ආණ්‌ඩුව කිසිදාක එම ආයතනයේ වැඩකටයුතු වලට අත පෙවීම් සිදුකළේ නැත.

එපමණක්‌ද නොව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැක. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය බ්‍රිතාන්‍ය හා ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල් සමඟ ඉතා කිට්‌ටු සම්බන්ධකම් පවත්වාගෙන යන අතර මේ සයිටම් අර්බුදය එම රටවල වෛද්‍ය බලධාරීන්ගේ අවධානයට දැනටමත් පාත්‍ර වී ඇත. එම නිසා මේ ආරවුල අදාළ සියලු පාර්ශව වලට සාධාරණයක්‌ ඉටුවෙන පරිදි ඉතා ඉක්‌මනින් සමථයකට පත්කළ යුතු වේ.

RSL

Related Posts