ව්‍යවස්ථා සංශෝධනය අත හැර දමන ලෙස ප.ප.ජ.කු.පා.ම. මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි

Spread the love

විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

ජාතිවාදී පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් බලතල පැවරීමත් රටේ කිසිසේතම සිදු නොවිය යුතු බවත් තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද පවසා සිටියේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් විය.

“නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන පාර්ශවය ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු වූයේ, 2015 අප්‍රේල් 20 වෙනිදාට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පමණි. මුලු ව්‍යවස්ථාවම වෙනස් කිරීමට ජනවරමක් මේ ආණ්ඩුවට ලැබුණේ නැත. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ පහත දැක්වෙන යෝජනාවලට අපට කිසිසේත්ම එකඟ විය නොහැක.“

සියලුම සුළු කණ්ඩායම්වලට වැඩි නියෝජනයක් ලබා ගැනීමට ඉඩ සලසන සමානුපාතික ඡන්ද ක්‍රමයයට තේරීපත් වෙන නියෝජිතයන්ගේ ප්‍රතිශතය 40% ක් ලෙස නියම කොට තිබියදීත්, නොයෙක් ජාතිවාදී කණ්ඩායම් වල නියෝජනය වැඩි කිරීමට කුඩා මන්ත්‍රී කොට්ඨාශ හා බහු මන්ත්‍රී කොට්ඨාශ ඇති කිරීමටත්, යුද්ධය හේතුවෙන් පිටරට පදිංචියට ගොස් යුද්ධය අවසන් වූ පසුත් ආපසු නොපැමිනි පුද්ගලයන් අවතැන් වූවන් ලෙස සලකා උතුරු පළාතට පාර්ලිමේන්තුවේ අතිරේක ආසන සංඛ්‍යාවක් වෙන් කිරීමටත් යෝජනා වී ඇත. මේ ආකාරයට ලාංකීය දේශපාලනය තුළ පටු ජාතිවාදයට මුල් තැන දීම කිසිසේත්ම පිළිගත නොහැක. සමානුපාතික පදනම මත තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වර්තමානයේදී මෙන් දිස්ත්රි ක්ක පදනම මත පත් නොවී පළාත් මට්ටමින් පත් විය යුතු බවට කර ඇති යෝජනාවද අපට පිළිගත නොහැක.

මීට කලින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නිකුත් කළ ලියවිලි වල පොලිස් බලතල ගැන සඳහන් වුවද, එම මාතෘකාව මේ නවතම යෝජනාවලියේ සඳහන් නොවන්නේ, පොලිස් සේවය කොටස් 9කට කැඩීමට අවශ්‍යම විවිධාන 13 වන සංශෝධනය හේතුවෙන් දැනටමත් අපේ ව්‍යවස්ථාවේ නව වන පරිශිෂ්ඨයේ පළමු උපලේඛණයේ සඳහන් වෙන නිසා විය හැක. වර්තමානයේ ජාතික පොලිස් සේවය රට පුරා ක්‍රියාත්මක වෙන ආකාරයටම ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බව අපේ මතයයි. ඒ අනුව වත්මන් ව්‍යවස්ථාවේ නව වන පරිශිෂ්ඨයේ පළමු උපලේඛණයද පවතින යථාර්තය පිළිඹිබු වෙන ලෙස සංශෝධනය විය යුතුය.

ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂාඨාධිකරනයේ බලය අහෝසි කොට අලුතෙන් ව්‍යවස්ථාමය අධිකරණයක් ඇති කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු අගමැතිවරයාට ඇතැම් ජනාධිපති ලක්ෂ ඇණ ආරෑඩ කිරීම, මැතිවරණයකින් පසු නිශ්චිත කාලයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වෙන ආකාරයට විධි විධාන සැලසීම, ඇතුලු අපට පිළිගත නොහැකි තවත් යෝජනා ගණනාවක්ම මේ ලියවිල්ලේ සඳහන් වුවත්, ඒවා මේ යෝජනාවලියේ ප්‍රධාන පරමාර්ථයට අදාළ නොවෙන නිසා අපි එම කාරනා ගැන මෙහිදී වැඩි අවධානයක් යොමු නොකරමු.

වත්මන් ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වන වගන්තිය වෙනස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද, එය මේ අවස්ථාවේදී මොවුන්ගේ මූලික පරමාර්ථය නොවන බව පැහැදිලිය. ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට යෝජනා කර ඇති වෙනස අවසන් මොහොතේ ඉවත් කරගැනීමෙන් මහා සංඝරත්නය නොමඟ යවා රටේ ඒකීය නැතිනම් ‘යුනිටරි’ භාවය රැකගැනීමට කරන සටන මොට කිරීමට ආණ්ඩුව උත්සාහ ගනු ඇති බව විචාරකයන්ගේ අදහස වේ. මේ ආකාරයටම යහපාලකයන්ගේ ෆෙඩරල් අභිමතාර්ථයට කිසිදු හානියක් නොකොට බහුතර ජනතාව නොමඟ හැරීම සඳහා අවසන් මොහොතේ ඉවත් කරගත හැකි තවත් යෝජනාවක් වන්නේ, ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තියට ජාතික ගීයේ දෙමළ අනුවාදයද එක් කිරීමේ යෝජනාවයි.

මේ ආකාරයට කේවල් කිරීමක් ලෙස අවසන් මොහොතේ අතහැරිය හැකි යෝජනා ගණනාවක්ම මේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ. අපි මේ ගනුදෙනු කරන්නේ නීතිමය හා දේශපාලනමය උප්පරවැට්ටි සම්බන්ධයෙන් කෙල පැමිණි පිරිසක් සමඟ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේදී යහපාලකයන්ගේ ඉලක්කය වන්නේ බුදුදහමට හෝ, ජාතික ගීයට අදාල නීතිමය ප්‍රතිපාදන වෙනස් කිරීම නොව, ශ්‍රී ලංකා රජයේ ව්‍යුයහය ඒකීය නැතිනම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්වා වෙනස් කිරීම පමණක් බව අප මෙහිදි වටහාගත යුතුය.

මේ ආකාරයට කේවල් කිරීමක් ලෙස අවසන් මොහොතේ අතහැරිය හැකි යෝජනා ගණනාවක්ම මේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ. අපි මේ ගනුදෙනු කරන්නේ නීතිමය හා දේශපාලනමය උප්පරවැට්ටි සම්බන්ධයෙන් කෙල පැමිණි පිරිසක් සමඟ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේදී යහපාලකයන්ගේ ඉලක්කය වන්නේ බුදුදහමට හෝ, ජාතික ගීයට අදාල නීතිමය ප්‍රතිපාදන වෙනස් කිරීම නොව, ශ්‍රී ලංකා රජයේ ව්‍යුහය ඒකීය නැතිනම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්වා වෙනස් කිරීම පමණක් බව අප මෙහිදි වටහාගත යුතුය.

RSL

Related Posts