මහින්ද අද දෙන්නේ ‘යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර’

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘රට රකින රට හදන ජනතාවාදී පාලනයක්’ යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක ජනහමු දස දහසේ එක් ජන හමුවක් කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවැති අවස්ථාවේදී පැවැසීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අද මේ රටේ කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වළපල්ලට ගිහිල්ලා. නමුත් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට පාලකයන් සැලැසුම් කරන බවක් අපට පේන්නේ නැහැ. හැබැයි තමන්ගේ පරම්පරාව නැවත මේ රටේ රජ කරවන්නට නම් ඒ පාලකයන් වෙර දරන බවක් පේන්න තියෙනවා.

මේ ක්‍රමය වසර 70ක් පුරාවට කරත්ත රෝදය වගේ ආ ගමනක්. මේ නිසාම තමයි අද මේ රට නන්නත්තාර රාජ්‍යක් බවට පත්වෙලා තියෙන්නේ.

අද බලන්න මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 4කට වැසිකිළියක් නැහැ. පවුල් ලක්ෂ 2 1/2කට කිසිම ඉඩම් අයිතියක් නෑ. ඒ නිසාම ඔවුන් ණය උගුලේ පැටලිලා. මේ තත්ත්වය ගමේ මිනිස්සුන්ට තදින්ම දැනෙනවා. යාපනය ප්‍රදේශයේ සියදිවි හානි කර ගැනීම් එන්න එන්නම වැඩි වෙලා. ඊට හේතුව නම් ණය ගෙවා ගන්න බැරි වීම. මේ අනුව අපට පේන්නේ මේ රටේ කිසිම පාලකයකුට ගමේ ආර්ථිකය ගොඩනඟන්නට සැලැස්මක් නොමැති බවය. ඔවුන් කළේ ගමේ ජනයා ටවුමට ගෙන්වීමේ ආර්ථිකයක් ගොඩනැඟීමයි පාලකයන් මෙතෙක් හැදුවේ. ඒ තුළින් නගරයේ තදබදය, සංකීර්ණ භාවය, අවිධිමත් බව ඉහවහා ගියා.

ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ඕනි. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ ගම හදන්න උත්සාහ දැරීමයි. මොකද ඉහළ පැළැන්තිය ගැන කතා කරලා කරලා ජනතාවටත් අපිටත් දැන් එපා වෙලා. මොකද රජ ගෙදර ඉඳලාම හොරකම් කරමින්, දූෂණ, වංචා කරමින් ජනතාව රවටමින් සිදු කරන මේ තට්ටු මාරු ක්‍රමය ජනතාවට දැන් එපා වෙලා තිබීම.

අන්න ඒ නිසායි අපි කියන්නේ මේ රට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකටම හදන්න බෑ කියලා. අවුරුදු 70ක ඉඳලාම මේ රටේ ජනතාව රැවැට්ටුවා. ජේ.ආර්. ධර්මිෂ්ඨ පාලනයකින් විවෘත ආර්ථිකයකින් මේ රට ගොඩගන්නවා කියලා ආවා. ජනතාව ඒ බස් එකට නැග්ගා. අවුරුදු ගාණකින් ඒක එපා කියලා පැත්තකට දැම්මා. ඊට පස්සේ දුප්පතාගේ හිතවතා ආවා. මිනිස්සු එයාගේ බස් එකටත් නැග්ගා. ටික දුරක් යනකොට එපා වෙලා ජනතාවම බැස්සා.

ඊට පස්සේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්න කියලා විහාරමහාදේවිය ආවා. එයාත් එපා වෙලා ජනතාව අයින් වුණා. අන්තිමට ගැමි සුවඳ හඳුනන, කුරහන් තලප කන, කුරහන් සාටකය පැලඳ ගත්තු අප්පච්චි ආවා. මිනිස්සු ඒ බස් එකටත් නැග්ගා. ටික දුරක් ගිහින් එපා වෙලා ජනතාවම බැහැ ගත්තා. ඊට පස්සේ යහපාලනයත් අරගෙන මේ දැන් ඉන්න පාලකයෝ ආවා. රැකියා දස ලක්ෂයක්, යතුරුපැදිකරුට පුංචි කාර් එකක් දෙනවා වැනි පාඨ කියමින්. මිනිස්සු නැග්ගා බස් එකට. දැන් මොකද වෙලා තියෙන්නේ. එතැනත් හොරකම, වංචාව, දූෂණය, නාස්තිය විතරයි.

අද මේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන්ගේ හොරකම් විතරක් කතා කරලා වැඩක් නෑ. අද හොරකම් වෙන්නේ රජ ගෙදර. අරලියගහ මැඳුරේ. මුදල් අමාත්‍යාංශය යටතේ හැමදාම තිබුණු මහ බැංකුව ප්‍රතිපත්ති සැලැසුම් අමාත්‍යාංශය යටතට ගත්තා. මහ බැංකු අධිපති ලෙස පිටරැටියෙක් නම් කළා. ඔහුට හොරකම් කරන්න පාර හදලා දුන්නා. හොරකම අහු වුණාම මහ බැංකු අධිපතිට පැනලා යන්න ඉඩ දුන්න. එතකොට කවුද හොරු, හොරු අරලියගහ මැඳුරේ ඉන්නේ.

අද මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්, සී.අයි.ඩී.ය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව කට උත්තරයක් ගන්නවා. ඔහු මාධ්‍යයට මොනවද කියන්නේ. නිදහස් කිරීමක් ගැන. හැබැයි සී.අයි.ඩී.ය ප්‍රශ්න කරන්නෙ නිදහස් කිරීමක් ගැන නෙවෙයි පැහැර ගැනීමක් ගැන. මතක තියා ගන්න. මේ සිද්ධිය මතකද ඇහුවාම ඔහු කියනවා මට මතක නෑ කියලා. එහෙනම් ඔහු මේ වගේ සිද්ධි පැහැර ගැනීම් ගොඩාක් කරලා තියෙනවා වෙන්න ඕනි. මොකද සාමාන්‍යයෙන් කරන දෙයක් නම් මතකයේ තියෙනවා අඩුයිනේ. ඒ වගේ සිද්ධි ගොඩාක් නිසා ඔහුට කීත් නොයාර් සිද්ධිය අමතක ඇති. මේවා අමූලික බොරු. මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ මේ පරීක්ෂණ වෙනතකට යොමු කරන්නයි.

RSL

Related Posts