නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

Spread the love

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග කළේය.

ආඥව යනු උසාවියට අපහාසයක්‌ කිරිමේ වරදට දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වා සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට කරනු ලබන නියෝගයයි.

රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදුවී ඇති බැවින් ඔහු උසාවියට කැඳවා නිසියාකාර පරීෂණයකින් පසුව ඔහුට දඩුවම් නියම කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් දෙක ඊයේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සහ විනිසුරු මූර්දු ප්‍රනාන්දු මහත්මිය හමුවේ කැඳවන ලදී.

නීතිපති විසින් සකස්‌ කොට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන චෝදනා පත්‍රය සහ ආඥව ඊළඟ නඩු දිනයේදී ඔහුට බාර දෙනු ඇත.

ඔහුට එල්ලවී ඇති චෝදනා එකින් එක විවෘත අධිකරණය හමුවේ කියවා තේරුම් කර දීමෙන් පසුව ඒවාට වැරදිකරුද නිවැරදිකරු දැයි ඔහුගෙන් විමසනු ඇත.

චෝදනා සම්බන්ධයෙන් විභාගයක්‌ පවත්වනවාද නැද්ද යන්න තීරණය වන්නේ එම චෝදනාවලට ඔහු දක්‌වන ප්‍රතිචාර අනුවයි.

රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධ ස්‌ථානයකදී කරන ලද කතාව පටි ගත කළ වීඩියෝ හඬ පටයට සවන් දුන් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් බැලූ බැල්මට ඔහු කළ කතාවෙන් උසාවියට අපහාසයක්‌ සිදුවී ඇති බවට පෙනී යන බැවින් ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක්‌ පැවැත්විය යුතු බවට තීරණය කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය ගත් එම තීරණය නීතිපති වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා විසින් වග උත්තරකාර වන රංජන් රාමනායක මහතා සහ ඔහුට එරෙහිව පෙත්සම් ගොනු කළ දෙදෙනා දැනටමත් දැනුවත් කරන ලදී.

ලබන ජූලි 01 දා නඩුව යළි කැඳවීමට නියමිතය. මාගල්කන්ද සුදන්ත හිමි සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් පෙරේරා මහතා රංජන් රාමනායකට එරෙහිව පෙත්සම් ගොනු කළ දෙදෙනායි.

නීතිඥ රසික දිසානායක මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ඩී. විතාන පතිරණ මහතාගේ උපදෙස්‌ පිට ජනාධිපති නීතීඥ එම් ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

RSL

Related Posts