ලසන්න ඝාතනයේ අපරාධයේ ප්‍රධාන උපදේශක ගැනත් තොරතුරු හෙළිවෙයි

Spread the love

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත විකුමතුංග මහතාගේ අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී එම ඝාතනයේ සුළමුල හා සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. ලසන්ත ඝාතනයෙන් පසු වසර නවයකට පසු එම ඝාතනයේ සුළමුල හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇති ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

එම හෙළි කර ගැනීම්වලට අනුව ලසන්ත ඝාතනයේ සියලු තොරතුරු වසන් කර එම ඝාතනය කොටි සංවිධානය මත පටවා පරීක්ෂණ යට ගැසීමේ අපරාධය වෙනුවෙන් හිටපු පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක් සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරගෙන යයි.

ඊට අමතරව මේ අපරාධයේ ප්‍රධානම උපදේශකවරයා ලෙස කටයුතු කළ එවකට රජයේ හිටපු ඉහළම නිලධාරියකු සම්බන්ධව හෙළි කරගත් කරුණුවලට අනුව එම පුද්ගලයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දිනයේ දී ඒ මහතාගේ මෝටර් රථයේ තිබී ලබාගන්නා ලද ඒ මහතාගේ සියලු තොරතුරු ඇතුළත් දිනපොත දුරකතනය සහ තවත් භාණ්ඩ පෙරේදා අත්අඩංගුවට ගන්නා ලද ගල්කිස්ස් පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතා විසින් පොලිස් අධිකාරිවරයකු නියෝජ්‍ය පොලිස්පතිවරයකු හරහා පොලිස්පතිවරයකුට ඉන් අනතුරුව රජයේ ඉහළම පුද්ගලයකු අතටත් පත්වීමෙන් පසුව ඒවා අතුරුදන් කර අති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ උප පොලිස් පරීක්ෂකවරයා ලසන්ත ඝාතනයට හා සම්බන්ධව ගල්කිස්ස පොලිසිය මගින් සිදු කරන ලද පරීක්ෂණවල වැදගත් තොරතුරු සහ එම අපරාධය ඔප්පු කිරීමට තිබූ වැදගත් තොරතුරු සියල්ලක්ම විනාශ කර ඇති අතර, ඔහු ඒවා විනාශ කරන ලද්දේ ඔහුට ඉහළින් ලැබුණ උපදෙස්වලට අනුව මිස වෙනත් හේතුවක් නිසා නොවන බවත් එම උපදෙස් ඔහුට ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය ගණනාවක් රඳවා ගැනීමෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙසේ හෙළිවී තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා විසින් පාවිච්චි කරන ලද දින පොතේ එදින ලසන්ත ඝාතනයට ඔහු පිටුපසින් පැමිණි යතුරු පැදිවල අංක සහ වෙනත් තොරතුරුද ලසන්ත විසින් ඒ අවස්ථාවේ රිය පදවමින් ඝාතකයන් හා සම්බන්ධව දුරකතන මගින් ලබාගත් දුරකතන අංක සහ ඒ මහතාට තිබූ තර්ජන සහ වෙනත් වැදගත් තොරතරු රැසක් අඩංගු දින පොත ඇතුළු භාණ්ඩ කිහිපයක්ම මෙසේ විනාශ කරන ලද හෝ අතුරුදන් කරන ලද භාණ්ඩ අතර වෙයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ 2009 වසරේ ජනවාරි මහ අට වැනි දින වන අතර, ඒ වන විට පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබුණේ ජයන්ත වික්‍රමරත්න මහතාය. ඉන් මාස කිහිපයකට පසු ජයන්ත වික්‍රමරත්න මහතා එම ධුරයෙන් ඉවත් වූ පසු පොලිස්පතිවරයා ලෙස පත් වූයේ මහින්ද බාලසූරිය මහතාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොටි ත්‍රස්තවාදීන්ගේ වැඩක් බව පවසා එම පරීක්ෂණ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත බාර දී තිබුණේ මහින්ද බාලසූරිය මහතා විසින්ය. පසුව එම පරීක්ෂණ අකර්මන්‍ය වෙමින් පැවැති අතර නැවත මීට වසරකට පෙර එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමෙන් අනතුරුව ලසන්ත ඝාතනයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ ලිපි ගොනු රැසක් ත්‍රස්ත විමර්ශන අංශයේ ඉවත් කරන ලද ලිපිගොනු ගොඩක් තුළ සඟවා තිබිය දී සොයා ගෙන තිබුණි.

‍රහස් පොලිසිය පවසා සිටින්නේ ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතන සිද්ධිය මෙන්ම සියලු තොරතුරු පොලිසිය යොදා වසන් කරමින් ඉතා සැළසුම් සහගතව බුද්ධි අංශ ඔත්තුකරුවන් යොදා සිදු කර ඇති බවයි.

පෙරේදා අත්අඩංගුවට ගන්නා ලද හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්වී වෙනත් පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඔහු ඊයේ ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

RSL

Related Posts