
පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ.
එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත.
එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වින්සද් වර්ගික කාරක මහා සංඝ සභාවේ ‘ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී’ විශේෂ ගෞරව සම්මානයෙන් බුහුමන් ලැබීම ඉහත සියලු කරුණු සපිරීමකි.
තරුණ හමුදා නිලධාරියකු ලෙස 1971 කැරැල්ල මැඬ පැවැත්වීමට ගනු ලැබූ හමුදා මෙහෙයුම්වලදී මිනිස් ජීවිත ගැන හැඟීමෙන් යුතුව තම වගකීම් ඉටු කළ කරු ජයසූරිය මැතිතුමන්ගේ මානව හිතවාදී හැසිරීම් ගැන ඔහු හා හමුදා සේවයේ යෙදී සිටි සමකාලීනයන් මා සමඟ සිහිපත් කළ අයුරු මගේ මතකයට නැඟේ.
මානව දයාවෙන් පිරිපුන් ඔහු සමස්ත ශ්‍රී ලාංකීකයන්ට විශ්වාසය තැබිය හැකි අවංක නායකයෙකි. පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු අභියෝගයකට ලක් වූ මෑත කාලීන සිදුවීම්වලදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය රැක දීම සඳහා තම දිවි පරදුවට තබමින් ඔහු දැක්වූ නිර්භීතභාවය අප රටේ ඉතිහාසය වර්තා කිරීමේදී නිවැරදිව සටහන් විය යුතුව ඇත.
කරු ජයසූරිය මැතිතුමන්ගේ දේශපාලන ගමනේදී ගත් ඇතැම් ස්ථාවරයන් ගැන මගේ එකඟවීමක් නොතිබුණද ඔහු මව්බිම කෙරෙහි දක්වන ආදරය සහ මව්බිමේ ඉරණම යහපත් කිරීම වෙනුවෙන් ඔහු තුළ ඇති වුවමනාව ගැන මට ඇත්තේ ලොකු විශ්වාසයකි.
විනයගරුක හමුදා නිලධාරියකු ලෙස ව්‍යාපාරික ලොවේ ජය කෙහෙළි නැංවූ ව්‍යාපාර පරිපාලකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ජාත්‍යන්තර සම්මාන දිනූ නගරාධිපතිවරයකු ලෙස මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ලෙස මේ රට වෙනුවෙන් ඔහු විසල් මෙහෙවරක් ඉටුකර ඇත.

දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් බහුල ඔහුගේ විශිෂ්ට වැඩ වාර්තාව, ඔහුගේ විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කරයි. තම ව්‍යාපාරික ජීවිතය තුළ මෙන්ම දේශපාලන ගමනේදීත් අවංක බව පිළිබඳ පිරිසිදු ප්‍රතිරූපයක් ගොඩනඟාගැනීමට ඔහුට හැකි වී ඇත. ජනතා සේවයට පැමිණි දින සිට අද දක්වා ඔහුට ලබාගත හැකිව තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍ර සඳහා වූ අවස්ථාවන් හතක්ම ලබාගැනීම ප්‍රතික්‍ෂේප කළ දේශපාලනඥයකු වූ ඔහු මැති ඇමැති තනතුරු සඳහා ලබන වේතනය පවා පුණ්‍ය කටයුතු සඳහා වන අරමුදලකට බැර කරනු ලබයි.
මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙසින් සැලකෙන කොළඹ ආනන්දයේ විපුල නිමැවුමක් වූ කරු ජයසූරිය මහත්මා, ආනන්දයේදී මහාචාර්ය කොටගම වාචීස්සර නාහිමියන් ප්‍රමුඛ දෑ හිතකාමී ගුරු උතුමන්ගේ සෙවණේ හැදුණු වැඩුණු දරුවෙක් විය.
කරු ජයසූරිය පවුල සැබැවින්ම ආදර්ශවත් පවුලකි. එතුමන් සමඟ දින ගණනාවක්ම දේශපාලන රැස්වීම් සඳහා මම එක්ව ගමන් කර ඇත්තෙමි. ඒ සෑම දිනකම තම ආදරණීය දියණියන් හා දුරකථනයෙන් සුවදුක් විමසා ගැන්ම සිදුකරන අයුරු ඒ වාහනයේ ගමන් කරන මම දැක ඇත්තෙමි. දහසකුත් එකක් රාජකාරි මැද ඒ ආදරණීය පවුල් බැඳීම් ශක්තිමත්ව තබාගන්නා ආදරණීය පියකුගේ මෙන්ම ආදරණීය ස්වාමිපුරුෂයකුගේ හැසිරීම කරු ජයසූරිය චරිතය වෙතින් මම දැක ඇත්තෙමි.
එමෙන්ම කොතෙකුත් රාජකාරි තිබුණ ද දුරකථන ඇමතුමකට ක්‍ෂණිකව පිළිතුරු සැපයීම කළ නොහැකි වුවහොත් පසුව හෝ තමන් අමතන සෑම දුරකථන ඇමතුමකටම ප්‍රතිචාර දැක්වීමට ඔහු අමතක නොකරයි. තම ඡන්දදායකයා හෝ තම පාක්‍ෂිකයා තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු නොකිරීමට ඔහු කරනුයේ විශාල කැපවීමකි.
ගම් මට්ටමේ පාක්‍ෂිකයන් හා ඡන්දදායකයන් සමඟ පවත්වාගෙන යන සමීප ඇසුර මෙන්ම රාජ්‍ය නායකයන් සමඟ සහ වෙනත් රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සමඟින් ද හෘදයාංගම බැඳීමක් ඇතිවන අයුරින් ඇසුරු කිරීමේ හැකියාව ඔහු සතුව ඇත. මව්බිමේ ප්‍රතිරූපය ඉහළින් තබා ගනිමින් තානාපතිවරයකු ලෙසින් අමාත්‍යවරයකු ලෙසින් සහ දැන් කථානායකවරයා ලෙසින් ඔහු පවත්වාගෙන යන මේ සබඳතා තුළින් මව්බිමට සෙත සලසන්නට ඔහු ගත් උත්සාහයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම අපි දකින්නෙමු.
“කෙනකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ උපතින්ම නොව තම හැසිරීම් වලිනි”. යන බෞද්ධ ඉගැන්වීම් අනුව කටයුතු කරන කරු ජයසූරිය මහත්මා මිනිස් පවුලේ සමානාත්මතාව සහ අභිමානය ගැන මනා අවබෝධයකින් කටයුතු කරන කෙනකු වීම අගය කළ යුත්තකි.
කරු ජයසූරිය චරිතය තුළින් මම දකින්නේ යහපත් මිනිසකුගේ ප්‍රතිරූපයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදැහැවත් බෞද්ධ බැතිමතකුගේ ප්‍රතිරූපයයි. දුකට, වේදනාවට, පීඩාවනට පත් වූ මිනිසුනට සමීප විය හැකි අයකුගේ ප්‍රතිරූපයයි. එවැන්නන්ගේ හඬට සවන් දීමට සූදානම සහ ඉවසීම ඇති අව්‍යාජ මිනිසකුගේ ප්‍රතිරූපයයි.
නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබ අප රටටත් ලොව සියලු මිනිසුනටත් යහපත් දෑ කරන්නට කරු ජයසූරිය මැතිඳුන්ට ශක්තිය ලැබේවායි දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නෙමි.
-ඉමිතියාස් බාකීර් මාකාර්-