ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් හෝ ඔහුගේ සමාගමෙන් එක්සත් ජාතික පක්ෂයට අරමුදල් ලැබී නැතැයි විනිසුරුවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂි ලබා දෙමින් මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කර ඇත. එහෙත් එම බැඳුම්කර මගඩියේ පළමුවර උපයා ගත් මුදල් වලින් කොටසක් එක්සත් ජාතික පක්ෂ අරමුදලටත්, දෙවන වර උපයාගත් ලාභය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු සඳහා නව ආයතන පිහිටුවීමට සහ මිලදී ගැනීමටත් යොදවා ඇති බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
කෙසේ වෙතත් මීට පෙර බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් සඳහා ගෙන්වන ලද එක්සත් ජාතික පක්ෂයේම ඇමතිවරයෙකු වූ රවී කරුණානායක මහතා තම නිර්දෝෂිභාවය සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහායැ’යි කියමින් බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ අවසන් වන තුරු සිය අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.
එවැනිම චෝදනාවන්ට ලක්ව කොමිසම හමුවට කැඳවූ මලික් සහ කබීර් ද තම නිර්දෝෂීභාවය සහ අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් වූ සහය දැක්වීම සඳහා සිය අමාත්‍යධුරවලින් තාවකාලිකව ඉල්ලා අස් වී සහය දක්වනු ඇති බව මහත්මා දේශපාලන සහ යහපාලනය අගය කරන ජනතාවගේ පැතුම වනු ඇත.