ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ.
දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ විශාල පිරිස් ඊයේ රාත්‍රීවනතුරු කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව රැස්ව සිටි බවට වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කළ ‘ජන බලය-කොළඹට’ විරෝධතා ව්‍යාපාරය අවසන් මොහොතේ දැනුම් දුන් පරිදි ආරම්භවීමට නියමිතව තිබුණේ මරදාන ටෙක්නිකල් හන්දියෙනි. කොළඹට ළඟා වන සෑම මාර්ගයකින්ම පැමිණි ඒකාබද්ධ විපක්ෂ ආධාරකරුවෝ පස්වරු 4.15 වන විට ඕල්කොට් මාවත ඔස්සේ පිටකොටුව බෝධිය අසලට ළඟා වූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පිටකොටුව බෝධිරාජාරාමය වෙත ගොස් බුදුන් වැඳීමෙන් අනතුරුව විරෝධතා පෙළපාළියට එක් වූ අතර අති විශාල ජනකායක් ඔවුන් පෙරටු කොට ගනිමින් පෙළපාළියේ ගමන් ගත්හ. අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන බන්දුල ගුණවර්ධන, සී.බී. රත්නායක, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් සමඟ හිටපු ජනාධිපතිවරයා විවෘත මොටෝරියක නැඟී ලේක්හවුස් වට රවුම කරා පැමිණෙන විට කොටුව දුම්රිය පොළ අසල අති විශාල ජනකායක් රැඳී සිටිමින් විරෝධතා පෙළපාළිය සමඟ එක්වනු පෙනිණි. චිත්තම්පලම් ගාඩිනර් මාවත ඔස්සේ පැමිණි ජනතාවත්, ලෝටස් පාර ඔස්සේ සහ ඩී.ආර්. විජයවර්ධන මාවත ඔස්සේ පැමිණි ජනතාවත් මේ ජන ගඟට එකතු වීමෙන් ලේක්හවුස් වට රවුම එකම හිස් ගොඩක් බවට පත් විය. ජනයා ලේක් හවුස් මන්දිරයේ සෝපාන පන්ති මතද රීගල් සිනමා ශාලාව අසලද පොදි ගැසී සිටින අයුරු දැකිය හැකි විය. ලේක්හවුස් ආයතනයේ සේවකයන්ද ‘ජනබලය කොළඹට’ විරෝධතාවයට සහාය දක්වමින් කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සම්බෝධි විහාරය ඉදිරිපිට ඇති පොලිසියේ රථවාහන හසුරුවන වේදිකාවේ නැඟී මෙගා පෝනයක ආධාරයෙන් සටන් පාඨ කියමින් පෙළපාළිකරුවන් දිරි ගන්වමින් සිටියේය.
‘රනිල් එපා කිව්වට අපි ආවා කොළඹට’ යනුවෙන් හඩනඟමින් කොටුව දුම්රියපෙළ අසල මඳ වේලාවක් රැඳී හුන් විරෝධතාකරුවෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය සිය වාහනවලින් ඔවුන් සමීපයට ළංවෙත්ම ඔල්වරසන් දෙමින් ජයඝෝෂා නඟන්නට වූහ. පෙළපාළිකරුවෝ ආණ්ඩු විරෝධී සටන්පාඨ කියමින්ද සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින්ද ගමන් ගත්හ.
විජයකලාට නිදහස, රණවිරුවන්ට උදහස, බටලන්දේ ඝාතකයා ආර්ථිකයේ විනාශකයා, රට හිඟමනට වැට්ටූ හිඟන ආණ්ඩුව පලවා හරිව්, කලා නිර්මාණ බද්දෙන් නිදහස් කරණු! ආදී සටන් පාඨද ඒ අතර විය.
මේ අතර ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බලකෙරෙන ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත උපවාසයක් ඊයේ රාත්‍රි 7.00ට පමණ කොටුව සම්බෝධි විහාරය අසලදී ආරම්භ විය.