දුරකථන සංවාද හෙළි කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇත්දැයි විමර්ශනයක්

Spread the love

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙන් එම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි විමර්ශනය කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට එය ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ඊයේ උදැසන රැස්‌වීමෙන් අනතුරුව ප්‍රථම නිවේදනය ලෙස කථානායකවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. පසුගිය දින කිහිපයේම බැඳුම්කර කොමිසමේ මෙම කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන් අදහස්‌ ඉදිරිපත් කළ බවද සභාඩ්නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු තම වරප්‍රසාද කඩවී ඇතැයි පවසමින් වරප්‍රසාද ප්‍රශ්න කිහිපයක්‌ ඉදිරිපත් කර ඇතැයි ද කථානායකවරයා කීවේය.

එම අදහස කෙරෙහි අවධානය යොමුකර විමර්ශනය කිරීම සඳහා වරප්‍රසාද කමිටුවට යොමු කරන බවද ඉදිරි දින කීපය තුළ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවද කථානායකවරයා පැවසුවේය.

කථානායකවරයා මේ බව ප්‍රකාශ කළ පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්‌ අදහස්‌ ඉදිරිපත් කළහ.

බන්දුල ගුණවර්ධන මහතා – අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්‍ෂණය කළේ කොමිසමේ නිර්දේශ මත. සී. අයි. ඩී. එක මේ දුරකථන සංවාදවලට සවන් නොදුන් බව කොමිසමේ විනිසුරු ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා සභානායකවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුව නොමග යවන සුළුයි.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – අප නිරීක්‍ෂණවලට විරුද්ධ නෑ. ඒත් ඒ තොරතුරු කොමිසම රහසිගතව තබාගත යුතුයි. නමුත් මේක ප්‍රසිද්ධ කළා. වැරැද්ද පත්තරවලට තොරතුරු ලබාදීමයි. කවුද මේ තොරතුරු දුන්නේ?

වාසුදේව නානායක්‌කාර මහතා – මේ ගැන මම සභාව කල් තැබීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කළා. ඒකට අවසර දිය යුතු නෑ කියා ඔබතුමා කියා තිබෙනවා.

කථානායක – මම ඒක බැලුවේ නෑ.

වාසුදේව නානායක්‌කාර මහතා – කොමිසමේ පරීක්‍ෂණ කටයුතු කරන නිලධාරීන් ගැන පොලිසියේ ඉහළින් පරීක්‍ෂණ කරනවා.

රංජිත් සොයිසා මහතා – කොමිසමේ සභාපති විනිසුරුතුමා පැහැදිලිව ඊයේ කියා තිබුණා දුරකථන ඇමතුම්වලට සවන් දීමක්‌ කර නෑ කියලා. සභානායක පාර්ලිමේන්තුව නොමග යවනවා.

සභානායක – මම ටෙලිෆෝන් ‘ටැප්’ කිරීම ගැන කිව්වා. ඊට අමතරව ඒ තොරතුරු ප්‍රසිද්ධ කිරීම ගැනයි මම කිව්වේ.

කථානායක – ඔව් ප්‍රසිද්ධ කිරීම ගැන.

උදය ගම්මන්පිල මහතා – මහජන නියෝජිතයන් ලෙස මේ සභාවට ඇවිත් අපි ක්‍රියාකරන ආකාරය ගැන රට දැනගත යුතුයි. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආ ආණ්‌ඩුව ඇයි තොරතුරු හංගන්නේ. ජනාධිපති කොමිසම ප්‍රසිද්ධ කොමිසමක්‌.

දිනේෂ් ගුණවර්ධන මහතා – වාසුදේව නානායක්‌කාර මහතා මේ බැඳුම්කර සිද්ධිය ගැන ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව ඉවත් කිරීම සාධාරණ නෑ.

ඇමැති කබීර් හෂීම් මහතා – මේ තොරතුරු විනිවිදභාවයෙන් පෙන්විය යුතු බව උදය ගම්මන්පිල මහතා කිව්වා. ඒ දවස්‌වල පරීක්‍ෂණවලට මන්ත්‍රීවරුන්ට එන්න කීවාම හැංගුනා. තොරතුරු හැංගුවා.

චමින්ද විඡේසිරි මහතා – අගමැතිතුමා ඊයේ කොමිසමට ගිහින් ආදර්ශයක්‌ දුන්නා. ආණ්‌ඩුව කිසිවක්‌ සඟවන්නේ නෑ. ඒ අය නම් නයා ගැහුවා කියලා හැංගෙනවා.

නිහාල් ගලප්පත්ති මහතා – කවුරු කවුරුත් එළියේ හෝදනවා. කුම්බලා මාළු කෑවා නම් වමාරපල්ලා බළලුනේ.

RSL

Related Posts