‘ග්‍රාම ශක්ති’ වැඩසටහනින් දිළිඳුකම පිටුදකිමු

Spread the love

දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙන ගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තම තමන්ගේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන න්‍යාය පත්‍ර තුළ ප්‍රමුඛත්වය ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හිමිවිය යුතු බව මෙහි දී මැති ඇමැතිවරුන්ට පැවැසූ ජනාධිපතිවරයා ඉදිරියේ දී දිස්ත්‍රික්ක මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් පැමිණ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය. ජනතාව දුගී බවින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කාලීන මෙන්ම යුගයේ අවශ්‍යතාවක් ඉටු කිරීමක් වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය සමඟ රටට ආදරය කරන සියලු පුරවැසියන් අත්වැල් බැඳගනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවයට පසුගිය දා (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී එක්වෙමිනි.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථිකයකින් හෙබි තිරසර ශ්‍රී ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිඳුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිවරයාගේ දැක්ම අනුව ක්‍රියාත්මක මුඛ්‍ය වැඩසටහන ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය දියත් කෙරේ.

පළමු අදියරේ දී ශ්‍රී ලංකාව පුරා තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස 5000ක් ආවරණය කරමින් දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳ පොළ ජය ගැනීමේ අවස්ථාව සලසා දීම ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා සිදු කෙරේ.

වැඩි කාන්තා සහ තරුණ දායකත්වයක් ලබා ගනිමින් වෙළෙඳ පොළ අවස්ථා පිළිබඳ සංවේදීව ගමේ සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීමේ ශක්තිය ලබාදෙමින් එම සැලසුම් ප්‍රාදේශීය සහ පළාත් සංවර්ධන සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම මෙහි අරමුණයි.

ශක්තිමත් ජනතා සමාගමක් ග්‍රාමීය මට්ටමින් බිහිවීම, සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැ‍ඟෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් නිර්මාණය වීම, ඒක පුද්ගල ආයෝජනය රු. 8000 ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් ගමට ලැබීම, යැපුම් මානසිකත්වයකින් මිදී ව්‍යවසායකත්වය වෙත එළැඹීමට විශේෂ පුහුණුව සහ ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කෙරෙන ඉතුරුම් ක්‍රමයක් මෙහි ප්‍රමුඛ ප්‍රතිලාභ වේ.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහි දී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව ක්‍රියාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග්‍රාම ශක්ති වැඩසටහන යටතට එක් කිරීම, දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.

එමෙන්ම ග්‍රාමීය තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම සඳහා එයාර්ටෙල් ආයතනය සමඟ ඒකාබද්ධ වූ වැඩසටහන ක්‍රියාවට නැංවීම ද මෙහි දී සිදු කෙරිණි. ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම මගින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ව්‍යවසායකත්ව තරුණ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම ද සිදු කෙරිණි.

2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනම විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහි දී සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

අපේ රටේ කාලීන අවශ්‍යතාවක් යුගයේ අවශ්‍යතාවක් ජාතික වශයෙන් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් වූ දුගී බවෙන් නිදහස් වීම සඳහා මුළු මහත් ජනතාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා සමාජ සාධාරණත්වය තුළ සෑම මිනිසකුටම දරිද්‍රතාවයෙන්, බඩගින්නෙන්, කුසගින්නෙන් තොරව ජීවත්වීම සඳහා ආරම්භ කරනු ලබන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට ඔබ සියලු දෙනාගේම පැමිණීම මට ඉතාමත් ධෛර්යයක් සහ ශක්තියක්. මේ වැඩපිළිවෙළෙහි නායකත්වය ප්‍රමුඛත්වය ගන්නේ‍ ග්‍රාමීය ජනතාව බව ඔබ කවුරුත් දන්නවා. රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ ධනවතුන් තවත් ධනවතුන් කරන්න ධනවතුන්ට පහසුකම් දීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ආර්ථික අමාරුකම් දරිද්‍රතාවයන් තිබෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ඔවුන්ට යහපත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාද ලබාදීම ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම රජයක මූලික වගකීම යුතුකම සහ කාර්යභාරය විදියට මා විශ්වාස කරනවා.

අපේ රටේ දුගී භාවය දරිද්‍රතාවය පිළිබඳ නැති-බැරිකම දුප්පත්කම පිළිබඳ තිබෙන්නා වූ සංඛ්‍යා ලේඛන බොහෝවිට කියවෙනවා. ඉතාම අඩු ආදායම් ලබන ඉතාම අමාරුවෙන් ජීවත්වන ජනතාව සියයට හතක් විතර කියා කියනවා. නමුත් ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයාගේ ආර්ථික තත්ත්වය කුමක්ද?. මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන පෞද්ගලික අංශයේ පහළ සේවකයාගේ ආර්ථික තත්ත්වය කුමක්ද?. මේ රටේ ගැමි දිරිය නැතිනම් සමෘද්ධි වැඩසටහන්වලට එක්වී සිටින ඒ ප්‍රතිලාභ ලබන ජනතාවගේ ආර්ථීක තත්ත්වය කුමක්ද?. මේ කියන ශ්‍රේණි සහ කොටස්වලට අමතරව සමාජ ස්ථරයන් තුළ විවිධාකාරයෙන් ගැවසෙන ජනතාවගේ ආර්ථීක තත්ත්වය ගත් විට අපට කිසිසේත්ම සතුටු විය හැකි තැනක නොමැති බව ඔබ අප කවුරුත් දන්නවා. එසේනම් දේශපාලන වශයෙන් තවත් කෙනකුට ඇගිල්ල දික් කිරීම නොව තමන් දෙසට ඇගිල්ල දික් කරවා ගැනීම ද නොව අප විසින් කළ යුත්තේ ගෙවී ගිය දශක කිහිපයේ සෑම රජයක් විසින්ම අප මේ අරමුණු කරන්නා වූ කාර්යයට ක්‍රියාත්මක කරන ලද විවිධ ව්‍යාපෘතීන් විවිධ වැඩසටහන් තුළ රටත් රජයත් ජනතාවත් විදියට ලබා ඇති අත්දැකීම් සමඟ මේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමයි.

මෙහි දී ඔබ අප සෑම කෙනෙක්ම ඒ වගකීම ඉටු කරමින් සිය ජාතික මෙහෙවර සිය මානුෂීය කාර්ය ජාතියේ අනාගතය සඳහා ඔබ සෑම කෙනෙක්ම ඉටු කරයි කියා අප විශ්වාස කරනවා. මෙවැනි ක්ෂේත්‍රයන් චක්‍රලේඛ තුළින් උපදෙස් තුළින් නියෝග තුළින් කරන්නා වූ මඟ පෙන්වීම්වලට ප්‍රධාන වශයෙන්ම දෙවැනි තැන දෙමින් ප්‍රමුඛත්වය මුල් තැන දිය යුත්තේ හෘද සාක්ෂියට එකඟව රට සහ ජනතාව වෙනුවෙන් අප අපේ යුතුකම් ඉටු කරනවා කියන ඒ ප්‍රමුඛ කාර්ය හෘද සාක්ෂියෙන් ඉස්මතුවී අප එයට ප්‍රමුඛත්වය දීමයි කියා මා විශ්වාස කරනවා.

අපේ රටේ ප්‍රධාන වශයෙන්ම පරිපාලන ව්‍යුහයේ දී දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම් මුල්කරගත් සංවර්ධන ව්‍යාපෘති බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. මෙහි දී මා දකින්නේ දිසා ලේකම්වරයා සංවර්ධන පරිපාලනයේ නියමුවා නොව ප්‍රාදේශීය ලේකම් සංවර්ධනයේ පරිපාලනයේ ප්‍රාදේශීය නියමුවා නොව දිසා ලේකම්වරයා පරිපාලනයෙන් බැහැරව කාර්ය කිසිසේත් අමතක නොකොට එය සිත්හි තබාගෙන සංවර්ධනයේ දිස්ත්‍රික්කයේ නියමුවා වීම අත්‍යවශ්‍යයි කියන එකයි. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා පරිපාලනයේ නායකයා නොව ඒ සඳහා ප්‍රමුඛත්වය නොව එය දෙවැනි තැන තබාගෙන ප්‍රාදේශීය පාලනය තුළ ප්‍රාදේශීය ලේකම්වරයා සංවර්ධනයේ ප්‍රාදේශීය නියමුවා විදියට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා.

අද මෙහි පැමිණ සිටිනවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අපේ රටේ බැංකුවල නියෝජිතයන් නායකයන්. අද අපේ රටේ ප්‍රධාන වශයෙන්ම අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මූල්‍ය ආයතනවල ගොදුරු බවට පත් කරගෙන තිබෙනවා. උතුරු නැ‍ඟෙනහිර විශේෂයෙන්ම යුද්ධය අවසන් වනවාත් සමඟ සංවර්ධනයට රජය ගමට යන්න කලින් යුද්ධය පැවැති ප්‍රදේශවල ගමට ගියේ පෞද්ගලික මූල්‍ය ආයතන. ගෙයක් ගානේ ගොස් ආකෘති පත්‍ර බෙදලා ඒවා පුරවන්න දීලා ණය ගන්න ඒ අය උනන්දු කෙරුවා. මෙහි පරක් තෙරක් නොදන්නා අහිංසක අසරණ ජනතාව තමාගේ වත්කම් ගැන නොසලකා ඒවා පුරවා ඒ ආයතනවලින් ණය ලබාගත්තා. අද ඔවුන් ඒ මූල්‍ය ආයතනවලින් මොනතරම් පීඩාවට පත්ව තිබෙනවාද?. අද ඒ මූල්‍ය ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් නිවෙස්වලට ගිහින් තර්ජනය කරමින් නොයෙකුත් නින්දා අපහාස කරමින් ඉතාමත් පහත් වචන පාවිච්චි කරමින් තමාගේ මූල්‍ය ආයතනවලින් ලබා ගත් මුදල් ඉල්ලීමත් ඇපය සඳහා ඒ අසරණයන්ගේ නිවෙස ඉඩම මූල්‍ය ආයතනවලට ලබාගැනීම සඳහාත් කටයුතු කරන අවස්ථාවන් දහස් ගණනක් මේ රටේ අද තිබෙනවා.

පසුගිය සතියේ යාපනයේ සංචාර‍යේ දී මම යාපනයේ ගොවි ජනතාවගෙන් ඇසුවා ඔවුන්ගේ තිබෙන ප්‍රශ්න මොනවාද කියා. පළමුවෙන්ම ගොවි නායකයෙක් මට කිවුවේ අපිව බැංකුවලින් නිදහස් කරලා දෙන්න කියලා. අපිව අසරණ භාවයට පත්වෙලා තිබෙන්නේ බැංකුවලින් අපිට තිබෙන හිරිහැර නිසා කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම 2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට යෝජිත අය-වැය යෝජනා තුළ මේ රටේ ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික මුල්‍ය ආයතනවලින් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින අසරණ ජනතාව එයින් නිදහස් කර ගැනීම සඳහා මුලික වැඩපිළිවෙළක් ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ වැඩසටහන තුළ ඔබ සෑම කෙනෙක්ම නායකත්වය ගෙන ඔබේ වගකීම ඉටු කිරීමේ දී විවිධ ක්ෂේත්‍ර හරහා මේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ තුළ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යයට ඔබ මූලිකත්වය ගන්න ඕන. අපි ආරම්භ කර තිබෙන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය, ඒ වගේම එස්. බී. දිසානායක ඇමැතිවරයා හරහා ක්‍රියාත්මක වන ගැමි දිරිය නැත්නම් සමෘද්ධි වැඩසටහන ඒ වගේම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හරහා ක්‍රියාත්මක වන ජාතික නිවාස වැඩසටහන ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන පළාත් සභා හරහා ක්‍රියාත්මක වන ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ විවිධ ව්‍යාපෘති සංවර්ධන යෝජනා ඒ වගේම අද උදේ මම සහභාගී වුණා චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාගේ නායකත්වයෙන් කෙරෙන වෘත්තීය පහුණු අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා. නවොත්පාදන ආර්ථීකයක් පිළිබඳ කතා කරන අපි නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න අවශ්‍ය මානව සම්පත් බිහි කිරීම නිර්මාණය කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා .

ඒ නිසා මෙහි දී වෘත්තීය හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය මේ ග්‍රාම ශක්ති ජාතික වැඩපිළිවෙළේ ද ප්‍රමුඛ අංශයක් බවට පත්වෙනවා. නිවාස අමාත්‍යාංශය ප්‍රමුඛ අමාත්‍යාංශයක් බවට පත්වෙනවා. ගැමි දිරිය සමෘද්ධි වැඩසටහන ප්‍රධාන අංශයක් බවට පත්වෙනවා. ඒ සියල්ලත් සමඟ අපි ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ප්‍රමුඛත්වයේලා කටයුතු කිරීමටයි බලාපො‍රොත්තු වෙන්නේ. ඒ නිසා ඔබේ මේ සඳහා තිබෙන කැපවීම දායකත්වය සමඟ වඩාත් පුළුල් ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්න අප සැම කෙනෙක්ම අධිෂ්ඨාන කර ගත යුතු වෙනවා.

විද්‍යා හා තක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා යටතේ තිබෙන විදාතා මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනේ කොටස්කරුවන් පිරිසක් බවට පත් කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අද රටේ ප්‍රධාන වශයෙන් තිබෙන ආර්ථික පසුබිම ගත්විට ඔබ දන්නවා වසර එක හමාරකට වැඩි රටේ ප්‍රදේශ ගණනාවක නියඟය ප්‍රධාන වශයෙන්ම අපේ ආර්ථිකයේ පසුබෑමක් ඇති කළා.

ආහාර නිෂ්පාදනයේ සියයට පනහක පහත බැසීමක් ඇති වෙලා තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවල ඇති වූ බරපතළ ගංවතුර තත්ත්වය අද මූලික වශයෙන් ඒ ආර්ථිකයේ පහත වැටීමට බලපා තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන අප නැඟිටිය යුතු වෙනවා. අපි සෑම කෙනෙක් තුළම තිබිය යුතු දේශපාලනඥයන්ට, රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගිලික අංශයට පොදු මහා ජනතාව ද පාසල් දරුවාද සෑම කෙනෙක්ම ආත්ම ධෛර්යයෙන් ආත්ම විශ්වාසයෙන් උත්සාහයෙන් ඔබෙත් මගෙත් මාතෘ භූමිය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ගොඩනැඟීමට සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට ඒ කාර්ය භාරයේ මූලිකත්වය උසුළන්නයි කියා මා සියලු දෙනාට ආයාචනා කරනවා.

අපි ඉදිරි දිනවල දී බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමින් පැමිණ මේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය කරන්න. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැමිණ මේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය කරන්න. සෑම දිස්ත්‍රික්කයකම පාර්ලිමේන්තු පළාත් සභා සියලු මැති ඇමැතිවරුන්ගෙන් මා කාරුණික ඉල්ලීමක් කරනවා තමාගේ දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන්වලට සංවර්ධන වැඩසටහන්වල න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයක් දෙන්න කියා.

ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම ඉතාම සාර්ථක වැඩ සටහනකයි මේ ඉදිරියට යන්නේ. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට ඔබ අප සෑම කෙනෙක්ම එක්වී පුළුල් වූ ජාතික වගකීම ඉටු කරමින් හෙට දවස හොඳ රටක් ගොඩනඟන්න, හොඳ ආර්ථිකයක් ගොඩ නඟන්න අප සියල්ල එක්ව කටයුතු කරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් එය මේ වැඩසටහනේ සාර්ථකත්වයේ නායකත්වයේ නියමුවන් වන ග්‍රාමීය ජනතාවට පොදු ජනතාවට භාර කරමින් ඊට අවශ්‍ය මඟ පෙන්වීම කළමනාකරණය සම්පත් ලබාදීම රජය විසින් කරමින් ඔබව දිරිමත් කරන බව ප්‍රකාශ කරනවා යැයි පැවැසීය.

සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා- ජනාධිපතිවරයා ගොවි පවුලකින් හැදුනු සැබෑ ගැමියෙක් ගොවි පවුලක දරුවෙක් නිසාම රටේ සාමාන්‍ය අයට වඩා ඇගට මසට ලෙයට ඇට මිදුළුවලට මේ රටේ ගැමි කම ගොවි කම නැතිබැරි කම දැනෙනවා. ලෝකයේ ඔබට වඩා හුගත් දුක් විඳින බඩ ගින්නේ ඉන්න තැනක් නැති විදුලිය නැති පානීය ජලය නැති ඉතාම අඩු ආයුකාලයකින් මිය පරලොව යන අය ඉන්නවා. ශ්‍රී ලංකාවේ අපි එහෙම නැහැ. සියයට අනුනමයක් අපේ රටේ ජනතාවට විදුලිය තිබෙනවා. අ‍පේ රටේ අඩු ආදායම් ලබන පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් හයදහසට කිට්ටුව දුෂ්කරව ජීවත්වන පිරිස් සියයට හතකට කිට්ටුවෙන් ඉන්නවා. ඒ වගේම රුපියල් දොළොස්දහස ආසන්නයේ ජීවත්වන පිරිස් සියයට දහ හතරක් ප‍හළොවක් විතර ඉන්නවා.

රුපියල් දහ අට දහසට කිට්ටුව ආදායම් තිබෙන පවුල් විසිහතර දහසක් පමණ ඉන්නවා. ජනාධිපතිවරයා මේ පවුල් නඟා සිටුවන්න මේ පවුල් හඳුනා ගන්න මේ පවුල්වලට ආත්ම ශක්තියක් ඇතිව අවබෝධයෙන් දැනුමෙන් සංවිධානගතව නැඟිටින්න අවශ්‍ය ක්‍රමෝපාය තමයි මේ ග්‍රාම ශත්කි වැඩසටහනින් ලබාදෙන්නේ. මේ ව්‍යාපාරය හරහා ඔබට නැඟිටින්න අවශ්‍ය ධෛර්ය ලබා දී තිබෙනවා. නැඟිටින ආසියාවේ හැම රටකටම වඩා නැඟිටින්න අවශ්‍ය ‍දැනුම බුද්ධිය ඒ පවුල්වල තිබෙනවා. ජනාධිපතිවරයා පෞද්ගලිකවම මෙහෙයවන මේ දුප්පත්කම නැති කරන ග්‍රාම ශක්ති වැඩසටහන සමඟ අපි අත්වැල් බැඳගෙන නැඟිටිමු ශ්‍රී ලංකාව 2030 වැනි විට දුප්පතුන් නැති පොහොසත් රටක් බවට පත්කර ගමු කියන ආයාචනය කරනවා යැයි ද පැවැසීය.

මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ඇමැතිවරුන් ඇතුළු පළාත් මැති ඇමැතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මේ උත්සවයට එක්ව සිටියහ.

RSL

Related Posts