ගෝඨාභය නඩුවට වෙට්ටු දමා කට්ටි පනින්න ගිය තැත නීතිපතිට හසුවෙයි!

Spread the love

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමට සංස්ථාවට අයත් මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුව විභාග කිරීමට ‍එම අධිකරණයට බලයක් නැති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමන ලෙස නීතිපතිවරයා ඊයේ (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණ සම්බන්ධයෙන්ම විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ‍යට ද පෙත්සමක් ගොනු කර ඇති අතර අභියාචනාධිකරණයටද පෙත්සමක් ගොනු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විභාග වන කරුණක් සම්බන්ධයෙන් නියෝග දීමේ බලයක් හෝ හැකියාවක් අභියාචනාධිකරණයට නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කෙළේය.

එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී. එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‍කරුණු ඉදිරිපත් කෙළේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කෙළේය. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කරුගේ මෙම පෙත්සම මඟින් කරණු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් තිබෙන බවය. එකම කරුණු සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයටද සෘජුවම අභියාචනා පෙත්සමක් ගොනු කර ඇති බව කීය. එසේම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බව අධිකරණ සංවිධාන පනතෙහි දක්වා තිබියදී එම කරුණ සම්බන්ධයෙන්ම මැන්ඩාටුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයෙහි ද මෙම පෙත්සම ගොනු කර ඇති බව හෙතෙම කීය. නීතියට අනුව අභියාචන පෙත්සම ගොනු කළ යුතු ස්ථානයම නිවැරැදි ලෙසම අභියාචනා ගොනු කර ඇති පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ඒ සම්බන්ධයෙන්ම රිට් ආඥා ඉල්ලා සිටීම ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ බලයට මැදිහත්වන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් බව හෙතෙම කීය. එබඳු පෙත්සමක් විභාග කර තීන්දුවක් හෝ නියෝගයක් දීමට අභියාචනාධිකරණයට බලයක් තිබේද යන්න ප්‍රශ්න සහගත බව හෙතෙම සඳහන් කෙළේය.

විත්තිකාර පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යාමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැති බවට ඔහුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය 2019 පෙබරවාරි 11 දින එම අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කළ බව ඒ මහතා කීය. එම නියෝගයට එරෙහිව විත්තිකාර පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති අතර ඊට අදාළව මෙම අධිකරණයෙන්ද රිට් නියෝග ඉල්ලා සිටින බව හෙතෙම කීය.

එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචනා කිරීමට කළ ඉල්ලීම ද ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම අභියාචනය ප්‍රතික්‍ෂේප කිරීමේ නියෝගයට එරෙහිවද පෙත්සම්කරු මෙම අධිකරණයට පැමිණ තිබෙන අතර එකී කරුණ සම්බන්ධයෙන් පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධකරණය හමුවෙහි සලකා බැලෙන බව හෙතෙම කීය. එබැවින් පෙත්සම්කරු මෙහිදී ඉල්ලා සිටින නියෝගය බල රහිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

RSL

Related Posts