නඩුවට ආපු ගෝඨාට ගොට්ට අල්ලන්න ගිය සාක්ෂිකරුට අධිකරණයෙන් දැඩි අවවාද

Spread the love

වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්‌. අසේල ඉද්දවෙලට ඊයේ (25) අවවාද කළේය.

එම නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී අතට අත දී පිළිගෙන ආචාර සමාචාර පවත්වා සතුටු සාමිචියේ යෙදීමට නොවන බව පවසමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ කළ කරුණු දැක්‌වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස අවවාද කළේය.

රජයේ ඉහළ තනතුරක්‌ දරන එම සාක්‍ෂිකරු විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත් දෙනකුට එරෙහි පවරා ඇති නඩුව කැඳවූ පසුගිය 22 වැනිදා වාඩි වී සිටි තැනින් නැගිට එම නඩුවේ පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ අසලට ගොස්‌ ඔහුට අතට අත දී ආචාර සමාචාර පවත්වා ඇති බවත් විත්තිකරුවකු සමඟ එලෙස අධිකරණ ශාලාව තුළදී හැසිරීම පැමිණිල්ල කිසිසේත්ම අපේක්‍ෂා නොකරන බවත් දිලීප පීරිස්‌ එහිදී සඳහන් කළේය.

පැමිණිල්ල මෙහෙයවන තමා කටයුතු කරනුයේ විත්තිකරුවන්ගේ හා සාක්‍ෂිකරුවන්ගේ තරාතිරම හෝ වෙනත් අවශේෂ කරුණු අනුව නොවන බව ද එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැමිණිල්ලේ යම් සාක්‍ෂිකරුවකු සිය තනතුරු ගරුත්වය ආරක්‍ෂා නොකරන ලැඡ්ජා සහගත අයුරින් කටයුතු කරන්නේ නම් ඒ බව පෙන්වා දීමට තමා පසුබට නොවන බව ද කීවේය.

තමා එලෙස කටයුතු කළේ නොදැනුවත්කම නිසා බව එහිදී එම සාක්‍ෂිකරු අධිකරණයට ප්‍රකාශ කළේය. එම සාක්‍ෂිකරුට පෞද්ගලික සංචාරයක්‌ සඳහා ලබන 2 වැනිදා සිට 4 වැනිදා දක්‌වා ඉන්දියාවට යැමට එහිදී අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ තුන්වැනි සාක්‍ෂිකාර ලංකා විදුලිබල මණ්‌ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනිත සෙනවිරත්නට ද ලබන 16 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ජපානයට යැමට ද අවසර ලබාදුන්නේ ය.

-දිවයින ඇසුරින්-

RSL

Related Posts