ගෝඨා අපහරණය කළ කෝටි 4ක් ගැන පරීක්ෂණ

Spread the love

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට කොන්සල් ජනරාල්වරයෙක් පත් නොකර කොන්සල් ජනරාල් කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලි පදනම මත ලබා ගනිමින් රුපියල් හාරකෝටි අටලක්ෂ තිස්හතර දහස් දෙසිය අනුනමයක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය.

මෙම නිල නිවස ලබා ගැනිම සඳහා නිවාස කුලිය දුරකතන, විදුලිය අන්තර්ජාල පහසුකම් ,ජලය ගෑස් මෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ඉහත කි මුදල් යොදවා ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශන වලදි අනාවරණය වි ඇති බවද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට කියා සිටියේය.

වසර 2013.08.01 දින සිට වසර 2015.06.30 අතර කාලය තුළ නිල නිවස භාවිත කර ඇත්තේ කොන්සල් ජනරාල් වරයකු නොමැතිව බව අධිකරණයට කියා සිටි කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය නිල නිවසේ බදු ගිවිසුමට අනුව කොන්සල්වරයකු පත් නොවුණේ නම් මසක් තුළ නිවස ලබා දිය යුතු බව සඳහන් කර ඇතත් එම බදු ගිවිසුමට ප්‍රකාරව කටයුතු නොකරමින් මෙම මුදල් වියදම් කර ඇතැයිද කියා සිටියේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක සේවාවේ සිටි සෙබළුන් දෙදෙනකු අමෙරිකාවේ විශේෂ සේවාවන් සඳහා අනුයුක්ත කර ඇති බවත් ඔවුන් දෙදෙනා මෙම නිල නිවසේ පදිංචිව සිටි බවට මේ වන විට තොරතුරු අනාවරණය වන බවත් අධිකරණයට කී කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ දෙදෙනා යුද හමුදාවෙන් සහ අමෙරිකානු කොන්සල් ජනරාල් කාර්යාලයෙන් යන දෙකෙන්ම වැටුප් ලබා ගෙන ඇති බවත් කියා සිටියේය.

යුද හමුදාවේ බලලත් නිලධාරියකු වන සියාතුගේ ලක්ෂ්මන් තිලකසිරි යන අය සහ සාමාන්‍ය සෙබළෙකු වන උපුල් කුමාර ධර්මදාස යන දෙදෙනා වන අතර පුද්ගලයින් දෙදෙනා ලොස් ඇන්ජලීස් නුවර හිටපු කොන්සල් ජනරාල් වරයා වන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතාගේ නිල කාලයේදී එහි සේවය සඳහා පිටත් කොට ඇති බවත් කොන්සල් ජනරාල්වරයාගේ ධුර කාලය නිමවා මාස හයකින් පසු මෙරටට පැමිණියද මොවුන් එහි වසර එක හමාරක් පමණ රැදි සිට ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

දෙදහස් දොළහ වර්ෂයේ දෙසැම්බර් මස ලොස් ඇන්ජලීස් නුවර කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ යුද හමුදාවෙන් ලබා ගත් අවසරයකින් තොරව එහි රියදුරන් ලෙස සේවය කරමින් එම කොන්සල් ජෙනරාල් නිල නිවසේ රැදී සිටිමින් රජයට මුල්‍යමය අලාභයක් සිදුකළ බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධීකරණයට දැනුම් දුන්නේය.

යුදු හමුදාවේ සාමාජිකයන් දෙදෙනාගෙන් මෙන්ම ලොස් ඇන්ජලීස් නුවර හිටපු කොන්සල් ජනරාල්වරයා වන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා, හිටපු අමෙරිකානු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය යන මහත්වරුන්ගෙන් සහ පුද්ගලයන් 22 ගෙන් පමණ මේ වන විටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුනි. මෙම නිල නිවෙසේ තවත් පුද්ගලයන් රැදී සිටියාද යන්න විමර්ශන සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධීකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කැර අධිකරණයට වාර්තා කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

RSL

Related Posts