ගෝඨාගේ පෙත්සම යළි සලකා බැලීම අද

Spread the love

දිවංගත ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

එම පෙත්සම සලකා ඉකුත් නඩු දිනයේදී පෙත්සම්කරුගේ නීතිඥවරය කළ ඉල්ලීමක්‌ අනුව ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අද දක්‌වා රහස්‌ පොලිසියට තහනම් කරන ලදී. එම තහනම තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් උසාවියට ඉදිරිපත් කෙරෙන කරුණු සලකා බලා අද තීරණයක්‌ ගනු ඇත.

අභියාචනාධිකරණයේ සභාපති එල්. ටි. බී. දෙහිදෙනිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න සහ මහත්වරුන් හමුවේ මෙම විභාගය පැවැත්වේ.

පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ විරකැටිය මැදමුලන දිවංගත ඩී. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකළේ රාජපක්‍ෂ පදනම සහ පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාව අතර ඇතිකරගත් කොන්ත්‍රාත් ගිවිසුමකට අනුව බවයි.

රජයේ තක්‌සේරුවට අනුව එය ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්‍ෂ 33 ක්‌ වැයවී ඇති බවත් ඉන් කොටසක්‌ මුලින් ගෙවා ඇති අතර පසුව සම්පූර්ණ මුදල ගෙවා අවසන් කළ බවත් එය දෙපාර්ශ්වය අතර සිවිල් හා වාණිජමය ගනුදෙනුවක්‌ බවත් පොදු දේපළ නීතිය යටත් නොවන බවත් පෙත්සම්කරු කියා සිටී.

තත්ත්වය එසේ තිබියදී 2015 වර්ෂයේදී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අමාත්‍ය ධුරයට පත්වූ ජාතික හෙළ උරුමයේ නායකයා වන පාඨලී චම්පික රණවක මහතා දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකිරීම සඳහා ඊට වැඩි මුදලක්‌ වැය වී ඇතැයි කියා සිටි බවත් ඉතිරි මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන බව දන්වා ඔහු සමීපව ඇසුරු කරන නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක්‌ එවූ බවත් ඒ අතර රජයේ මුදල් අවභාවිත කළැයි තමාට එරෙහිව බරපතළ අපරාධ විමර්ශන ඒකකය විසින් මහෙස්‌ත්‍රාත් උසාවියට සහතිකයක්‌ ගොනුකළ බව ත් පෙත්සමේ සඳහන් කර ඇත.

රහස්‌ පොලිසිය තමාට එරෙහිව එකී පියවර ගෙන ඇත්තේ රජයේ බලවතුන්ගේ පෙළඹවීම පිට තමාගෙන් පළිගැනීමට හා අත්අඩංගුවට ගෙන ඇප නැතිව රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ නඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය පෙත්සමේ වග උත්තරකරුවන් වන පොලිස්‌පති, රජස්‌ පොලිස්‌ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ බරපතළ අපරාධ විමර්ශන පොලිස්‌ ඒකකයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි.

RSL

Related Posts