සයිටම් උපාධි කඩයට එරෙහි වෛද්‍ය වර්ජනයට තාවකාලික විරාමයක්!

Spread the love

උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා හා අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සමඟ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද (05දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය සතියක කාලයක්‌ සඳහා අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා අතර සයිටම් අර්බුදය සම්බන්ධව පැවැති සාකච්ඡාවේදී ලැබුණු ප්‍රතිචාර දිරි ගන්වන සුළු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඇති කර ගත් එකඟතා පිළිබඳව විශේෂ ප්‍රකාශයක්‌ කරන බවට ඇමැතිවරයා මෙහිදී තමන්ට දැනුම් දුන් බවත් ඒ මහතා අවධාරණය කළේය.

අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් සමඟද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජ්‍ය පක්‍ෂය සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වෛද්‍ය අලුත්ගේ කීවේය.

මෙම කරුණු සැළකිල්ලට ගෙන වැඩ වර්ජනය සතියක කාලයකට අත්හිටුවීමට මේ අනුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වුවද බලධාරීන් විසින් කුමන හෝ අයුරකින් සයිටම් ආයතනය නීතිගත කිරීමේ මතභේදාත්මක තීරණවලට එළඹීමට ක්‍රියා කළහොත් එම මොහොතේම අඛණ්‌ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යැමටද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

RSL

Related Posts