ඥානසාර හිමි යළි එළියේ..

Spread the love

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත සලකා බැලූ හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක්‌ මත මුදාහරිමින් එහිමිට විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමටත් නියෝග කළේය.

අදාළ ඇප අයදුම් පත පිළිබඳව පැමිණිලි පාර්ශ්වයේ නීතිපති වෙනුවෙන් සහභාගි වූ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා කරුණු දක්‌වමින් මෙසේ කීය.

මේ නඩුවට අදාළ අය මේ වන විට මාස 6 ක්‌ බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට ලක්‌වී සිටිනවා. ඔහුට ඇප ලබා ගැනීමට ඇපෑලක්‌ ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය අඟහරුවාදා මේ ඇපෑල උසාවියේ කතා කරන විට නීතිපතිවරයාගේ නියෝජිතයෙක්‌ පැමිණ නොසිටීම විශාල ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ මාධ්‍යයටයි. අපිට මේ ගැන දැනගන්න ලැබෙන්නේ දහවල් 12 ට 1 ට විතර. ඒ වෙලාවට කොහොමද අපි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන දවසේ ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නඩුවකට මට පෙනී සිටින්න වුණා. තවත් නඩු කීපයක්‌ එක දිගට තිබුණා.

මේවා නොදැන මාධ්‍ය අපට පහර ගහනවා. නීතිපති උසාවිය මග හරී කියලා මාධ්‍ය කට්‌ටිය ප්‍රචාරය කරන්න ඉස්‌සෙල්ලා අහන්න තිබුණා. එහෙම නැතිව ඇප දෙනවාට විරුද්ධ නිසා අපි උසාවි ආවේ නෑ කියන එක බොරුවක්‌.

වරදකට වරදකරු වෙලා හිරේ ගියාම පොල් ගහල පෙළපාලි ගිහිල්ලා පිකටින් කරලා ඇපගන්න බෑ. ඒකට ක්‍රමවේදයක්‌ තියෙනවා. වරදේ බරපතලකම අනුව දඬුවම් ලැබුණා. ඇප කොන්දේසිවල 19 වැනි වගන්තියේ තියෙනවා. නිදහස්‌ කිරීමට අදාළ සැකකරු සුදුසු නම් එසේ කළ හැකි බව. 19/2 යටතේ තියෙනවා වරදේ ස්‌වභාව චුදිතයාගේ ක්‍රියා කලාපය අනුව හා පෙර වැරදි නොතිබීම මත ඇප දිය හැකියි කියලා.

ඔබතුමාගේ අභිමතය පිරිදි ඇප දිය හැකියි. එහෙත් නඩුවේ සාක්‌ෂි හා චූදිතයාගේ හැසිරීම සලකා බැලිය යුතුයි චූදිතයාට ඇප දෙන්න සාධාරණ හේතු තිබිය යුතුයි. මාස 6 ක සිර දඬුවම මාස 4 යි දින 10 න් ගෙවී යනවා. මේ සියල්ල සලකා බලා ඔබතුමාගේ අභිමතය පරිදි ඇප ලබා දිය හැකියි. නමුත් චූදිතයා තවත් කෙනෙකුට උසාවියේදී තර්ජන කළහොත් කුමක්‌ කළ යුතුදැයි සිතිය යුතුයි.

ජනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අනිල් සිල්වා මහතා ඇප අයදුම්පත වෙනුවෙන් කරනු දක්‌වමින් මෙසේ කීය.

මේ අධිකරණයෙන් දඬුවම් නියම කළ අයෙකුට ඇප ලබාදීමට 19 වැනි වගන්තිය යටතේ පැහැදිලි කොට තියෙනවා. ඒ ඔබතුමාගේ අභිමතට යටත්වයි.

මෙතුමා කියනවා නොතිසි වෙලාවට එව්වේ නෑ කියලා. කැබිනට්‌ ප්‍රකාශකත් ඒකම කියනවා. එහෙම නම් වැරදි කරලා තියෙන්නේ උසාවිය. කැබිනට්‌ ප්‍රකාශකත් උසාවියට අපහාස කරලා. මේ සිද්ධියේදී ඇප ඉල්ලූ ගිය අඟහරුවාදා මෙතුමා කියනවා නඩවුකට පෙනී සිටියා ඒ නිසා එන්න බැරි වුණා කියලා. ඒ අනුවම පේනවා මෙතන යමක්‌ සිදු වෙලා කියලා. මෙය ඇප දිය හැකි සිද්ධියක්‌ අධිකරණයෙන් ඇප අයෑද සිටිනවා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා ලක්‌ෂ 5 ක ශරීර ඇප 2 ක්‌ මත මුදාහැරීමටත්, විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගැනීමටත් නියෝග කළේය.

RSL

Related Posts