ඛනිජ තෙල් වර්ජනය දිග් ගැස්සෙයි

Spread the love

ඉල්ලීම් තුනක්‌ මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් පෙරේදා (24 දා) සිට ඇරඹූ අඛණ්‌ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසති.

සිය ඉල්ලීම් සම්බන්ධව මේ වනතෙක්‌ රජයේ කිසිදු ප්‍රතිචාරයක්‌ නොමැති බැවින් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නියෝජිතයෙක්‌ ඊයේ (25 දා) පැවැසීය.

හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව රජය යටතේ පවත්වාගෙන යැම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් තුනක්‌ සම්බන්ධව රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක්‌ වැඩවර්ජනය ගෙනයන බව හෙතෙම කීය.

තෙල් වර්ජනයක්‌ ක්‍රියාත්මක වන බව ආරංචි වීමත් සමගම පෙරේදා සවස්‌වරුවේ සිටම වාහන හිමියන් සිය රථවලට ඉන්ධන වෙනදාටත් වඩා වැඩියෙන් ලබා ගැනීමට පෙළඹුණු අයුරු දැකගත හැකි විය.

වර්ජනය හේතුවෙන් බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව ඊයේ පෙරවරුව වනවිට දිග පෝලිම් දක්‌නට ලැබුණත් සවස්‌ වන විට බොහෝ ඉන්ධනහල් ඉන්ධන නොමැතිව වසා දමා තිබිණි.

ඇතැම් ඉන්ධනහල් හදිසියේ වසා දැමුවද ඉන්ධන ලබා ගැනීමට පැමිණි වාහන බොහෝමයක්‌ ඉන්ධන ලැබෙනු ඇතැයි යන විශ්වාසය මත ඊයේ සවස්‌ වනවිටත් පෝලිම්වල නවතා දමා තිබු අයුරු දැකගත හැකි විය.

බෝතල් හා කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම පසුගිය වකවානුව තුළ බොහෝ ඉන්ධනහල් විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණද මෙම අවස්‌ථාවේ එම තත්ත්වයෙන් ඉවත්ව සෑම ඉන්ධන හලකම පාහේ බෝතල් හා කෑන් ආදිය සඳහාද ඉන්ධන නිකුත් කරන ලද අයුරු දැක ගැනීමට ලැබිණි.

Loading...

RSL

Related Posts