පන්සලකට දානේ වේලක් දෙන්නවත් අද අපේ බෞද්ධයන්ට ශක්තියක් නෑ

Spread the love

මුදල් ඇමතිගේ නොහැකියාව නිසා බාල්දු වෙන රුපියල හමුවේ දිනෙන් දිනම බඩු මිල ඉහළ යන බවත් ඒ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද වන විට පන්සලකට දානේ ටිකක් දෙන්නවත් ශක්තියක් නැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පැවැසීය.

හෙතෙම මේ බව පැවැසුවේ පසුගියදා මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, පසුගිය දවසක මම කැබිතිගොල්ලෑවට ගියා. ඒ මිනිස්සු විඳින දුක දැක්කම අපි බොහෝ කම්පාවට පත්වුණා. එදා යුද්ධය නිසා කම්පාවට පත්වුණා. අද ඔවුන්ගේ අසරණභාවය නිසා කම්පා වෙනවා.

එසෙ දරුවෝ පාසල් ගිහිල්ලා කලන්තේ හැදිලා වැටෙනව කන්න නැතිව. නියඟය නිසා ඒ ප්‍රදේශවල කන්න හයක් ගොවිතැන් පාළු වෙලා. මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රජටටම නියඟය. ගොවිතැන් කරන්න විදියක් නැතිව අසරණ වෙලා ඉන්නේ. ජනාධිපතිතුමා ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරලා තිබුණා. හරියට නියං ආධාරවත් ලැබෙන්නේ නැහැ. නියං ආධාර ලැයිස්තු හදන්නෙත් දේශපාලකයෝ. ඒ මුළු පළාතම නියඟයට ගොදුරු වෙලා. එක්සත් ජාතික පක්ෂයේ අයට විතරයි බඩගිනි දැනෙන්නේ කියලයි ඒ අය හිතන්නේ.

අද අනෙක් පැත්තෙන් රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසා කර්මාන්තශාලා වැහෙනවා. දේශීය කර්මාන්ත කඩා වැටිලා. සපත්තු කර්මාන්ත වැනි කර්මාන්ත වහන්න සිද්ධ වෙලා. ඒ කර්මාන්තශාලාවල වැඩ කරපු සේවකයෝ දහස් ගණනකට රැකියා අහිමි වෙලා. කිසි සැලැස්මක් නැති ආර්ථික වැඩපිළිවෙළ නිසා ස්ථාවර ප්‍රතිපත්තියක් නැති නිසා, රටේ ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටෙනවා. රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වත් ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙනවා. විරැකියාව වැඩිවෙලා. සංවර්ධනය ඇනහිටලා. මේ තත්ත්වයන් අපි අවබෝධ කරගත යුතුයි.

මම බඩුමිල ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා. අනුරාධපුර පැත්තේ දුවකගෙන් මම ඇහුවා මොනවද කෑවේ කියලා. මඤ්‍ෙඤාක්කයි පොලුයි කෑවා කිව්වා. ඒක තමයි ඇත්ත තත්ත්වය. එක වේලක් කාලා නැත්නම් වේල් දෙකක් කාලා හූල්ලලා වතුර ටිකක් බීලා ජීවත්වෙන්න සිද්ධ වෙච්ච යුගයක් තමයි අද උදාවෙලා තියෙන්නේ.

අරලියගහ මන්දිරයේ අලුතෙන් ඉදිකළ ශාලාව නිසා මට චෝදනා කළා. අද ඒකේ මඟුල් කනවා. මමත් මඟුල් කෑවාලු. මගේ මඟුලක් තිබුණේ නැහැ. අපි රටට ලබාදීපු සම්පත් අද අයාලේ යන්න ඇරලා. අධිවේගී මාර්ගයේ හම්බන්තොට ඉඳලා කතරගම දක්වා කොටස ඉදිකිරීම අවුරුදු එකහමාරක් දෙකක් නතර වෙලා තිබුණා. දැන් ඉදිකිරීම් පටන් ගත්තත් බොහොම මන්දගාමීව තමයි එහි කටයුතු කෙරෙන්නේ.

මම ගත්ත ණය නිසා රටට මේ තත්ත්වය උදා වුණා කියලා තමයි චෝදනා කරන්නේ. නෑ එහෙම වුණේ නෑ. මම වරාය හදන්න ගත්ත ණය පළමු වාරිකය ගෙව්වා වරාය අධිකාරියේ ආදායමෙන්. අපිට පුළුවන්කම තිබුණු නිසා තමයි එහෙම වරායක් හැදුවේ. අපට ණය ගෙවන්න පුළුවන්කම තිබුණු නිසා තමයි ගුවන්තොටුපොළක් හැදුවේ. අද ඒවා පෙන්න පෙන්න බොරු කිය කියා රටම ලෝකයාව රවට්ටන්න හදනවා. මේ ආණ්ඩුවත් අද ණය ගන්නවා. ඒත් හදපු බෝක්කුවක්වත් මම නම් දැකලා නැහැ. ඒ නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් යටතේ තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

මැතිවරණ කල් දාලා බොහොම අමාරුවෙන් තමයි ප්‍රාදේශීය සභා මැතිවරණය අරගත්තේ. දැන් පළාත් සභා මැතිවරණය දෙසැම්බර්වල තියෙනවා කිව්වා. දැන් ඒකත් තව මාස දෙකකින් කල් දාලා. මෙවැනි තත්ත්වයක් යටතේ තමයි රට පවතින්නේ. ඒ නිසා මම හිතනවා මේ ආණ්ඩුවේ අවසාන කාලේ ඇවිල්ල කියලා.

RSL

Related Posts