ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
- RSL
- November 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election, Petition, President Maithripala Sirisena
- 0 Comments
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉකුත් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්රස් ඇතුළු දේශපාලන පක්ෂ 13ක් විසින් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව විභාගය විශේෂ පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැත්වීමට අගවිනිසුරුවරයා තීරණය කොට ඇතැයි වාර්තා වෙයි.
පස් කට්ටුවකට නොඅඩු විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටිමින් ඉකුත් 16 වැනි දින මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය ජගත් වැල්ලවත්ත, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ ප්‍රේමනාත් සී. ෙදාලවත්ත යන මැදිහත්කාර පෙත්සම්කරුවන් විසින් මෝසම් ගොනු කරන ලද අතර එකී මෝසම් පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණයේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති කබීර් හෂීම්, එහි ලේකම් අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා එම්.ඒ. සුමන්දිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, මැතිවරණ කොමිසමේ එජාපයෙන් නම් කළ සාමාජික රත්නජීවන් හූල් යන අයවලුන් විසින් ජනාධිපතිවරයා විසින් රජය විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ගන්නා ලද පියවරට එරෙහිව මෙම පෙත්සම ගොනුකොට ඇත.
අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ එකී පෙත්සම් හා ඒවාට එරෙහි ඉදිරිපත් වූ මැදිහත්කාර පෙත්සම්ද මූලික විමසුමට ලක්වූ අතර දෙදිනක් තිස්සේ පැවැති මූලික කරුණු විමසුමෙන් අනතුරුව ඉකුත් 13 වැනි දින ඒවා විභාගයට ගැනීමට විනිසුරු මඬුල්ල තීන්දු කරනු ලැබීය.
ඒ අනුව දෙසැම්බර් මස 04, 05 හා 06 යන දෙදින තුළ පෙත්සම් විභාගය සිදුකිරීමට නියම කළ ශේ්‍රෂ්ඨාධිකරණය එය නිමවන තෙක් එනම් දෙසැබර් මස 07 වැනි දින තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් මහ මැතිවරණය පැවැත්වීමට නියම කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
-මව්බිම-

