දේශප්‍රේමියාව ක්ෂණයෙන් දේශද්‍රෝහියෙකු කළ හැකි ලංකාවේ දේශපාලන කලාව

Spread the love

අධිස්වෝත්තමවාදී දෘෂ්ටියකින් බලන විට ජෙනරාල් ජානක පෙරේරා යනු යුධ හමුදාව එතෙක් මෙතෙක් ලොවට දායාද කළ අති දැවැන්තම යුධෝපායීමාර්ගික චරිතයකි.යුධ හමුදා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුකළ සාර්ථකම සහ දැවැන්තම මෙහෙයුම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරුණකි. ඒ 1997 ජුලි 27 වනිදා ඓතිහාසික වැලිඔය මුදාගැනීමේ සටනේදී ත්‍රස්තවාදීන් 503 කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ වැලිඔය මුදාගැනීමේ ක්‍රියාන්විතයයි. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නාමයට පවා වෛර බැඳීමටද හේතුව මෙම සටන බව තතු දත්තෝ දනිති. මෙම සටනේදී ත්‍රස්තවාදීන් 503 ක් ඝාතනය වුවද අපට අහිමිවූයේ සෙබළුන් දෙදෙනෙකු පමණි.

එහෙත් ඔහු දේශපාලනයට පැමිණි විට තත්වය හාත්පසින්ම වෙනස් විය. මා විසින් මේ කරුණ සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ සෘජුවම චෝදනා නොකරන්නේ මේ සම්භන්ධයෙන් පසුවිපරමක් කළද, ජානක පෙරේරා දැන් ජීවමානව නොසිටින නිසාය. කොටි සංවිධානයට පවා වීරයෙකු වූ ජානක දේශපාලන වෙදිකාවේදී දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැහුණේ ක්ෂ්ණිකවය. එකළ දේශපාලන කුටුම්බයට අවනත නොවීමේ දරුණු ප්‍රතිවිපාක ඔහුට විඳින්නට සිදුවූයේ ඉන් අනතුරුවය. එදාමෙදා තුර නොවෙනස්ව ලාංකීය දේශපාලන ප්‍රවාහය තුළ පළිගැනීම යන්න නිල ප‍්‍රතිපත්තිය බවට පත් වූ නිසා LTTE බෝම්බ ප්‍රහාරයකින් මියගිය පසුවද මේ රණශූරයාට එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවිය.

එකල ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවු රත්නසිරි වික‍්‍රමනායක මහතාගෙන් එක්සත් ජාතික පක්ෂය විසින් කළ ඉල්ලීමට අනුව, ජෙනරාල් ජානක පෙරේරාගේ මෘත දේහය අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට ගෙන යාම සඳහා හෙලිකොප්ටරයක් ලබා දෙන බවට එකඟතායකට එළඹෙන ලදී. රට වෙනුවෙන් තඹ දොයිතුවක සේවයක් නොකළ රාජකීය බේබිළාට ක්ලබ් යාමට මෙන්ම ජනපති සහෝදරවරුන්ට ඔවුන්ගේ සුනඛයන් පවා උඩුගුවනින් අගනුවරට ගෙනඒමට හෙලිකොප්ටර් සපයන දේශපාලන සංස්කෘතියක් රටේ තිබියදී පවා, රට වෙනුවෙන් ලේ හැලූ මේ විරුවාට එම වරප්‍රසාදය අහිමි කිරීමට තරම් එකි දේශපාලන ප්‍රවාහය සාහසික විය.

ඒ අනුව, පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ සගයන් විසින් මිනිය රත්මලාන ගුවන් තොටුපොළට ගෙන යන ලදි. එතැන පැය පහක් ප‍්‍රමාද වීමෙන් පසු, දේහය රැගෙන යාම සඳහා හෙලිකොප්ටරයක් ලබාදිය නොහැකි බවට බලධාරීහූ ඔවුන්ට දැනුම් දුන්හ.පසුව මේ සම්භන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප‍්‍රශ්න කළ අවස්ථාවේ අපහසුවට පත් එකළ පිං අගමැතිවරයා කියා සිටියේ, සන්නිවේදනයේ යම් ඌනතාවක් නිසා අදාළ හෙලිකොප්ටරයක් ලබා දීමට නොහැකි වූ බවයි.දේශපාලනය යන්න කොයිතරම් කෲර වස්තු විෂයක්දැයි උගත් සමාජයකට තේරුම් බේරුම් කර ගැනීමට මේ කරුණ හොඳටම ප්‍රමාණවත් ය.

ප.ලි.
ෆොන්සේකාට, ජානකට, මෙන්ම ජගත් ජයසූරියට පවා මෙම තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ මෙකී ජඩ දේශපාලනයේ අඳුරු සෙවනැළි නිසාවෙනි.

-කාවින්ද ගමගේ-
FB පිටුවෙන්

RSL

Related Posts