මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි

Spread the love

FB mathra4මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි නගරයට ඇතුළු වීමට හැක්කේ දවසක් හැර දවසක් වශයෙනුයි. එක දවසක ඔත්තේ අංක සහ ඊළග දවසේ ඉරත්තේ අංක ආදී වශයෙන්. තමාට අවසර නැති දවසේ සෙසු පිරිස පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කළ යුතුයි. මේ ගැන කෙටි සටහනක් මීට පෙරත් මා මෙහි සටහන් කළා.

මේ වැඩපිලිවෙල නිසා දිල්ලියට දිනකට ඇතුළුවන වාහන සංඛ්යාව විශාල වශයෙන්, එනම් අඩකින් පමණ අඩු කිරීමට හැකි වී තිබෙනවා. මේ වනවිට මේ නිර්මාණාත්මක අත්හදාබැලීම බොහෝ දුරට සාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

එක වාහනයක එක් පුද්ගලයෙකු පමණක් නගරයට පැමිණීම වෙනුවට වාහන තවත් අය සමග බෙදාහදාගෙන පැමිණීමත් (carpooling) දිරිමත් කිරීමට පියවර අරගෙන තිබෙනවා. මෙහිදී සිදු වූ අපූරු සිද්ධිය වූයේ මෙම වැඩපිලිවෙල සැලසුම් කිරීමට මුල් වූ දිල්ලියේ මහ ඇමැති අර්වින්ද් කෙජ්රිවාල් ම ඊට මහත් පූර්වාදර්ශයක් දෙමින් තමාගේ වාහනයත් මේ ආකාරයෙන් බෙදාහදා ගැනීමයි. (කෙජ්රිවාල් ඉන්දියාවේ වංචා දූෂණවලට එරෙහිවද විශාල සටනක් කරමින් ජනතාවගේ ගෞරවයට පාත්ර වූ දේශපාලන නායකයෙක්)

ඔහු දැන් කාර්යාලයට එන්නේ තවත් ඇමැතිවරුන්, ලේකම්වරුන් ආදීන්ද වාහනයේ නංවාගෙනයි. ඔහු දුන් ආදර්ශයට අනුව යමින් දිල්ලි ආණ්ඩුවේ තවත් මැති ඇමැතිවරුන්ද, නිලධාරීන්ද දැන් තම වාහන බෙදාහදාගන්නට පියවර ගෙන තිබෙනවා. එක් ඇමැතිවරයෙක් (දිල්ලි සංචාරක ඇමැති කපිල් මිස්රා) මෝටර්බයිිසිකලයෙන් එන්නත් පටන් අරං බව ආරංචියි.

මේ සම්බන්ධයෙන් දැනගන්නට ඇති අලුත්ම සහ විශේෂම ප‍්‍රවෘත්තිය තමයි ඉන්දියානු අග විනිසුරුවරයා වන ටී. එස්. තකූර් ද ඔහුගේ වාහනය බෙදාහදා ගෙන එන්නට පටන්ගෙන තිබීම. ඔහු තවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වන ඒ. කේ. සික්රි සමගයි වාහනය බෙදාහදා ගන්නේ. ඔවුන් දෙදෙනා එක කිට්ටුව නිවාස දෙකක වාසය කරන අතර අගවිනිසුරුවරයාට ඔත්තේ අංකයක් සහිත වාහනයක්ද, විනිසුරු සික්රිට ඉරත්තේ අංකයක් සහිත වාහනයක්ද ඇති බව සදහන්. ඒ නිසා දැන් වාහන දෙක දවසක් හැර දවසක් වශයෙන් බෙදාහදා ගෙනයි ඔවුන් දෙදෙනා දිල්ලියට එන්නේ. ඔවුන් මෙසේ කරන්නේ විනිසුරුවරුන් මෙම ‘නීතියෙන්’ නිදහස් කර තිබීයදී වීමත් වැදගත් කාරණයක්. මේ සම්බන්ධයෙන් මහ ඇමැති කෙජ්රිවාල් අග විනිසුරුවරයාට විශේෂ ස්තුතියක් පුදකර තිබෙනවා.

දැඩි වාහන තදබදයකින් දුක් විදින අගනගරයක් හිමි ලංකාවටත්, ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න දේවල් බොහොමයක් මේ කතාව තුළ තිබෙන බව ඉතිං අමුතුවෙන් කිව යුතු නැහැ.

– නිහාල් පීරිස් –
(මෙම එෆ්.බී මාත්‍රාව යන විශේෂාංගය අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් නොවන අතර මුහුණු පොතේ අදහස්වල අතිශය වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts