facebook හරහා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක් හෙළිවෙයි !

Spread the love

බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි.

ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති.

මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් එම වෙළෙඳාම නතර කිරීම සඳහා තමන්ගේම ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ෆේස්බුක් ආයතනය පවසයි.

”අලෙවිකරන්නන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයම නීතිය සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා කළයුතුය” යන්න සිය වෙළෙඳ ප්‍රතිපත්තිය බව කැලිෆෝනියා මූලස්ථානය කරගත් ෆේස්බුක් තාක්ෂණික ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

brasil
මහපොළොවේ පෙනහැල්ල ලෙස හඳුන්වනු ලබන ඇමසන් වනගැබ විනාශ කෙරෙමින් පවතී

ඉහත කී ඉඩම් ජාවාරම බලපා ඇති එක් ආසිවාසී ජන කණ්ඩායමක නායකයා අදහස් දක්වමින්, එම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර එම ජාවාරමට එරෙහි ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ බ්‍රසීල ආණ්ඩුවට එකී ඉඩම් ජාවාරම නතර කිරීමේ උවමනාවක් නැති බවය.

”ඉඩම් කොල්ලකරුවන් නීතියට පටහැනි ඉඩම් ගනුදෙනු සඳහා ෆේස්බුක් ජාලයට නිර්ලජ්ජිතව පිවිසීමට තරම් අධික බලයක් ආරෝපණය කරගනු ලැබ ඇතැයි” ‘Kanindé’ නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශ කළාය..

සහතිකපත් නැහැ

ඕනෑම පුද්ගලයකුට ”වනාන්තරය”හෝ ”ස්වදේශීය වනාන්තරය” එසේත් නැත්නම් ”දැව” යන තේරුම දෙන පෘතුගීසි වචන යතුරු ලියනය මගින් සටහන් කරමින් ෆේස්බුක් ජාලයේ වෙළෙඳපොල පිවිසුම් මෙවලමට පිවිසීමේ දී එක් ඇමසන් ප්‍රාන්තයක පිහිටා ඇති, ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව අලෙවිකරනු ලබන ඉඩම් කැබැල්ලක් සොයාගත හැකිය.

ඇතැම් ලැයිස්තුගත කිරීම්වල චන්ද්‍රිකා දර්ශන සහ ඒවා පිහිටි ස්ථාන සටහන් GPS තොරතුරුත් ඇතුළත් වෙයි.

ඇමසන්
ගවයන්ට තණ කෑමට මෙවැනි බිම්කඩවල් යොදාගනී. එහි තේරුම ඒවා රැකගත යුතු බවය

මෙම ඇමසන් ඉඩම් විකුණන්නන් තමන්ට එම ඉඩම්වල අයිතියක් නැති බව විවෘත ලෙසම පිළිගනිති. බ්‍රසීලයේ නීතිය අනුව ඉඩම් අයිතිය ඔප්පු කිරීම සඳහා වලංගු එකම ලේඛනය ඉඩම් අයිතිය තහවුරු කෙරෙන ඔප්පුවයි. ඉහත කී නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ ගව ගොවිපොළ කර්මාන්තය කෙරෙන් ද විරෝධය එල්ලවෙමින් පවතී.

”අනතුරක් නැහැ”

මෙය වසර දහයක කාලයක් ඇතුළත බ්‍රසීලියානු ඇමසන් වනාන්තර විනාශයේ දරුණුම අවධියයි. එසේම ෆේස්බුක් ජාලයේ ‘වෙළෙඳපොළ’ දැන්වීම් අඩවිය ෆැබ්රීසියෝ ගුයිමරීස් (Fabricio Guimarães) වැනි වෙළෙන්දන්ට පිවිසිය හැකි ස්ථානයක් වී ඇත. වෙළෙන්දෙකු වන ෆැබ්රීසියෝ ඇතුළත් දර්ශන රහසිගත කැමරාවක් මගින් වීඩියෝගත කරනු ලැබ ඇත.

”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ” තමා විසින් සහමුලින්ම පුළුස්සා අළුකර දමන ලද වැහි වනාන්තර බිම්කඩක ඇවිද යමින් සිටින අතරවාරයේ ෆැබ්රීසියෝ පැවසීය.

BRASIL
”ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පරීක්ෂාකරනු ලැබීමේ අනතුරක් මෙතැන නැහැ”ෆැබ්රීසියෝ පැවසීය.

නීතියට පටහැනිව වනය වනසා වගාවට සුදුසු පරිදි සකස්කර ඇති බිම් කැබැල්ලක් සඳහා ඔහු දැන් ආරම්භක මිලට වඩා තුන් ගුණයක මුදලක් ඉල්ලා සිටියි. එය ඇමෙරිකානු ඩොලර් 35,000කි.

ෆැබ්රීසියෝ ගොවියකු නොවේ. ඔහු එක්තරා නගරයක මැද ශ්‍රේණියේ රැකියාවක නිරතවෙයි. ඔහු ගේ දර්ශනය වැහි වනාන්තරය හොඳ ආයෝජන අවස්ථාවක් වන බවය..

BBC ය අදාළ ගවේෂණයේ දී ෆැබ්රීසියෝ ගේ ප්‍රතිචාරය ලබාගනු සඳහා ඔහු විමසන ලද නමුත් අදහසක් දැක්වීම බැහැරකරනු ලැබුණි.

රහසිගත විපරම් කිරීමක්

ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩි හරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

BBC ගවේෂණයේ දී එම ප්‍රාන්තයේ ඉඩම් ජාවාරම්කරුවන් හතරදෙනකු සහ පොහොසත් ආයෝජකයන් නියෝජනය කරනු ලබන නීතිවේදියකු ලෙස පෙනීසිටි තැනැත්තකු අතර ව්‍යාජ හමුවක් පිළියෙළ කරනු ලැබුණි.

බ්‍රසීල සිතියම
ඉඩම් විකිණීමට අදාළ දැන්වීම්වලින් වැඩිහරියක් පළකරනු ලැබ තිබෙන්නේ බ්‍රසීලයේ වැඩිම වනාන්තර විනාශයක් වාර්තාවෙන ‘රොන්ඩෝ’නියා’ (Rondônia) ප්‍රාන්තයෙනි.

අල්විම් සෞසා අල්වෙස් (Alvim Souza Alves) නම් තැනැත්තෙක් ආදිවාසීන් නිවැසි ‘Uru Eu Wau Wau’ නම් සංරක්ෂිත වන කලාපය අභ්‍යන්තරයේ පිහිටි බිම්කඩක් ස්ටර්ලින් පවුම් 16,400කට සමාන මට්ටමේ බ්‍රසීලයේ ව්‍යවහාර මුදලට විකිණීමට උත්සාහ කරමින් සිටියේය.

එම වන කලාපය දෙසීයකට අධික ‘Uru Eu Wau Wau’ ආදිවාසී ජනයාගේ නිවහනයි. එපමණක් නොව, බ්‍රසීල ආණ්ඩුව පවසන පරිදි බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් නොපවත්වන තවත් ආදිවාසී ජනකොටස් අඩුතරමින් පහක්වත් එම වනගැබ ජීවත්වෙති.

”ඉන්දියන් මිනිස්සු ඒ පැත්තේ නැහැ. මගේ ඉඩම තියෙන්නේ ඔවුන්ගෙන් කිලෝමීටර් පනහක් ඈතින්. මම කියන්නේ නැහැ-ඔවුන් ඒ පැත්තේ එකවරක් හෝ තවත් වරක් එහි ඇවිදලා නැහැයි කියල” අල්වෙස් සාකච්ඡාවක දී සඳහන් කළේය.

BBC මාධ්‍යවේදීහු ‘Uru Eu Wau Wau’ වනගැබෙහි ගෝත්‍රික ප්‍රජානායක ‘Bitaté’ ඉදිරියේ ෆේස්බුක් වෙළෙඳ දැන්වීම පෙන්වූහ.

BRASIL
‘Uru Eu Wau Wau’ ආදිවාසී ප්‍රජාව තම වනගැබ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ උත්සාහයක නිරතව සිටිති

”එම බිම්කඩ සිය ජනතාව දඩයමට,මසුන් අල්ලා ගැනීමට සහ පලවැල නෙලා ගැනීමට උපයෝගී කරගන්නා කලාපයක් බව ගෝත්‍රික නායකයා කියා සිටියේය.

”මේක අපට සිදුකරන අගෞරවයක්” ඔහු සඳහන් කළේය.

”මම මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. මට පෙනෙන හැටියට ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ ආදිවාසීන්ගේ වනගැබ වනසා දැමීම. අපේ ජීවිත විනාශ කිරීම”

මේ කාරණයේ දී බලධාරීන් ප්‍රශ්නයට මැදිහත්විය යුතුව ඇති බවත් ආදිවාසී නායකයා පවසයි. එසේම ඔහු ෆේස්බුක් සමාගමෙන් ද ඉල්ලීමක් කළේය.

”වැඩිම ජනකායක් පිවිසෙන සමාජ මාධ්‍ය ජාලය ඔවුන්ගේ පැත්තෙන් පියවරක් ගත යුතුයි”

අයිතියේ වෙනසක්

නීතියට පටහැනිව යමින් සිදුකරනු ලබන ඉඩම් ජාවාරමට බලපාන තවත් කාරණයක් වන්නේ සමාවක් පිළිබඳව ඇති අපේක්ෂාවයි

සොරකම් කරගන්නා ලද අන්සතු ඉඩකඩම් නෛතික මට්ටමින් තමන් සතුකර ගැනීම සඳහා තමා දේශපාලනඥයන්ට බලපෑම් කළ බව ඇලවීම් සෞසා අල්වේස් (Alvim Souza Alves) අනාවරණය කළේය.

”මම ඔබට ඇත්ත කියන්නම්. මේ ප්‍රශ්නය ජනාධිපති බෝල්සොනාරෝත් එක්ක විසඳාගත්තේ නැත්නම්, කවදාවත් එය නිරාකරණය වෙන්නේ නැහැ” අල්වේස් සඳහන් කළේ වත්මන් බ්‍රසීල ආණ්ඩුව ගැන සඳහන් කරමිනි.

මෙහිදී ඉඩම් කොල්ලකරුවන් විසින් වනාන්තර විනාශය සඳහා භාවිත කරනු ලබන පොදු උපායමාර්ගයක් වන්නේ දැනට බලපැවැත්වෙන සංරක්ෂණ නීති වෙනස්කර ගැනීමට දේශපාලකයන්ගේ පිහිටා පැතීමය.

ඉන් අනතුරුව ඉඩම් කොල්ලකරුවන්ට නෛතික මට්ටමින් අයිතිය කියාපාමින් ආණ්ඩුවෙන් නීතියට අනුකූල ලෙස ඉඩම් කැබැලි මිලට ගැනීමට හැකියාව ලැබෙයි.

අල්වේස්, වෙස්වලාගත් BBC වාර්තාකරු ‘කුරුපිරා සංවිධානය’ (Curupira Association) නම් කණ්ඩායමක නායකයා ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලද තැනැත්තකු කරා රැගෙන ගියේය. බ්‍රසීල පොලිසිය විසින් එකී කණ්ඩායම හඳුන්වාදෙන ලද්දේ ආදීවාසීන් වෙසෙන වනගැබ ආක්‍රමණය කරමින් නීතියට පටහැනිව ඉඩම් කොල්ලකෑම ඉලක්ක කරගත් සංවිධානයක් ලෙසිනි.

BRASIL
තමා ආදීවාසීන් සතු ඉඩම් විකුණන බව අල්විම් සෞසා අල්වේස් BBCය විසින් යොදවන ලද නියෝජිතයාට ප්‍රකාශකළ නමුත් එම ඉඩම්වල අයිතිය දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් නොකළේය

එම පුද්ගලයන් දෙදෙනාම BBC වාර්තාකරුට කියාසිටියේ ‘බ්‍රසීලියා’ අගනුවර ආණ්ඩුවේ ආයතන සමඟ හමුවීම් යොදාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගෙන් තමන්ට උපකාර ලැබෙන බවය.

කොංග්‍රස් සභිකයකු වන කර්නල් ක්‍රිසෝස්ටෝමෝ (Colonel Chrisóstomo) සිය ප්‍රධාන සගයා බව ඔවුහු සඳහන් කළහ. කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයෙකි. ජනාධිපති බොල්සොනාරෝ 2019 වසරේ දී අලුත් දේශපාලන පක්ෂයකට මුලපුරන තෙක් එම පක්‍ෂයේ සාමාජිකයකු විය.

BBCය විසින් කර්නල් ක්‍රිසෝස්ටෝමෝ සම්බන්ධකර ගනු ලැබුණි. තමා ඉහත කී පුද්ගලයන් සඳහා සාකච්ඡා සඳහා උදව් කළත් එම කණ්ඩායම ඉඩම් ආක්‍රමණයක යෙදෙන බවක් තමා දැන නොසිටි බව ඔහු සඳහන් කළේය.

”ඔවුන් මට කිව්වේ නැහැ” කර්නල් ක්‍රිසෝස්ටෝමෝ පවසයි.

”ඔවුන් ඉඩම් ආක්‍රමණය කරනවානම්, ඔවුන්ට මගෙන් තවත් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ’

මුලින් ඔවුන් සඳහා සාකච්ඡා සංවිධානය කරදීමට උදව්කරනු ලැබීම සම්බන්ධයෙන් කණගාටුවන්නේදැයි BBC වාර්තාකරු විමසන විට කර්නල් ක්‍රිසෝස්ටෝමෝගෙන් ලැබුණේ ”නැහැ” යන පිළිතුරයි.

අනතුරුව BBCය අල්වේස්ගේ ප්‍රතිචාරය විමසීමට ඔහු සම්බන්ධ කරගත් නමුත් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්‍ෂේප කළේය.

ඇමසන් වනය
ඇමසන් වැසි වනාන්තරය මිහිතලයේ දැනට හමුවී ඇති ජීවීන්වර්ග සෑම දහයකින්ම එක ජීවීන් වර්ගයක නිවහනයි

BBC ය බ්‍රසීලයේ පරිසර ඇමති රිකාඩෝ සාලෙස් (Ricardo Salles) කරාත් ළඟා විය.

”ජනාධිපති බොල්සොනාරෝගේ ආණ්ඩුව පරිසර ප්‍රශ්නයත් ඇතුළුව කිසිදු ආකාරයක අපරාධයක් සම්බන්ධයෙන් කිසිම සමාවක් නොදෙන බව පැහැදිලිව කියල තියෙනව” ඇමතිවරයා පැවසීය.

බ්‍රසීල ආණ්ඩුව වන්නන්තර විනාශය සම්බන්ධයෙන් කටයුතු කරන ෆෙඩරල් ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ‘ඉබාමා’ (Ibama) ආයතනයේ අධීක්ෂණ කටයුතු සඳහා සපයන අරමුදලෙන් 40%ක් කප්පාදු කර ඇත.

එහෙත් පරිසර ඇමති සාලේස් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇමසන් වනගැබ කලාපයේ නීතිය ක්‍රියාවට නැංවීම අඩාල වූ බවය. තවද, එම කලාපය භාර ප්‍රාන්ත පාලනයට වන විනාශය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බව ඇමතිවරයා පවසයි.

බ්‍රසීල ආණ්ඩුව විසින් මේවසරේ ”වර්ඩි බ්‍රසීල්-2′ (Verde Brasil 2) යන නමින් මෙහෙයුමක් නිර්මාණය කරන ලදී. එහි අරමුණ නීති විරෝධීව වනය කපාදැමීම සහ වනය ගිනිතබා විනාශකිරීම අධීක්ෂණය සඳහා ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීමය.

ඒ කෙසේවෙතත්,වර්තමාන බ්‍රසීල පාලනය යටතේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි රෝන්ඩෝනියා (Rondônia) ප්‍රාන්තයේ කටයුතු කරන ෆෙඩරල් ආණ්ඩුවේ නීති නිලධාරී රෆායෙල් බෙවිලක්වියා (Raphael Bevilaquia) පෙන්වාදෙයි.

”පවතින තත් ත්වය ඇත්තෙන්ම,කොහෙත්ම දරාගන්න බැරි තරම්!” නීති නිලධාරියා පෙන්වා දෙයි.

”විධායක බලය අපට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තියෙනව. එමගින් අප අධෛර්යට පත්කෙරෙමින් පවතිනවා”

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය පවසන්නේ කුමක්ද? කුමන විකුණුම් නීතියට පටහැනිද යන්න තක්සේරු කිරීම තමන්ට අසීරු සංකීර්ණ කාරණයක් වන බව ෆේස්බුක් සමාගම පවසයි. එබැවින් එය ප්‍රශ්නයට අදාළ රටේ බලධාරීන්ගේ සහ එහි අධිකරණ සංවිධානයට පැවරෙන බවත් ඔවුහු පවසති. ඇමසන් කලාපය ඔස්සේ සිදුකෙරෙන සියලු වෙළෙඳපොළ ඉඩම් විකුණුම් අත්හිටවනු ලැබීමට තරම් මෙම ප්‍රශ්නය බරපතල බවක් පෙනීනොයන බවත් ෆේස්බුක් ජාලය සඳහන් කරයි.

වසර තිහක පමණ කාලයක් තිස්සේ ‘රොන්ඩෝනියා’ ප්‍රාන්තයේ වනාන්තර විනාශයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉවනෙයිඩ් බන්දෙයිරා (Ivaneide Bandeira) ප්‍රකාශයක් කරමින් සිය බලාපොරොත්තු දියවී යමින් ඇතැයි සඳහන් කළාය.

”මට දැනෙන විධියට මෙය ඉතා දුෂ්කර සටනක්. වනය විනාශ කරමින් පවතින ආකාරය දකින්නට ලැබීම ඇත්තෙන්ම වේදනාකාරී දුකක්. වනාන්තරය වේගයෙන් හැකිලීයමින් තියෙනව” ඇය පවසන්නීය.

”වනගැබ ආරක්ෂා කරගැනීම අතින් ඉතිහාසයේ කවර කාලයකවත් මෙතරම් දුෂ්කර අවස්ථාවක් තිබිල නැහැ”

(BBC බ්‍රසීලියානු අංශයේ ජෝආඕ ෆෙලට්(Joao Fellet ) සහ චාලට් පැමෙන්ට්(Charlotte Pamment) විසින් ඉදිරිපත් කරන මාධ්‍ය ගවේෂණාත්මක ලිපියක් ඇසුරෙනි. – lankaepress copied by bbc sinhala)

Related Posts