‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

Spread the love

අප්‍රියෙල් 21 ප්‍රහාරය අයි.එස් වැඩක් බව Amaq News (අයි.එස් මීඩියා ඒකකය) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එම පුවත රොයිටර් සහ සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ද වාර්තා කර ඇත. එපමනක් නොව ගෝටාබයගේ ආරක්ෂක උපදේශකයා වන ආචාර්ය රොහාන් ගුනරත්න ඊටත් එහා ගිය විශ්ලේෂණයක් කර ඇත. පාස්කු දින ප්‍රහාර වැල අයි. එස් වැඩක් බවත්, එහිදී ක්‍රියාත්මක වූයේ අයි .එස් දේශීය ඒකකය බව ඔහු සඳහන් කර ඇත. ‘‘Handiwork of the Islamic State (IS) in collaboration with its “Sri Lankan branch.” ලියුම්කරු මග බලා සිටියේ එකී නිවේදන පැමිණෙන තෙක්ය. මක් නිසාදයත් කථාවේ වැදගත්ම චරිත ඔවුන් බැවිනි.

ලියුම්කරුට මේ ලිපිය ලිවීමට පෙර තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචර්ය වරයෙකු විදේශයකදී හමුවීමට ලැබුණි. ප්‍රථමයෙන් මා ඔහුගෙන් විමසූයේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ නවසීලන්ත සිදුවීමට පලිගැනීමක් ලෙසද යන්නය.

පිළිතුර – ‘‘නවසීලන්ත සිදුවීම වාර්තා වූයේ මාර්තු 15 දිනය. පාස්කු ප්‍රහාරය වාර්තා වූයේ අප්‍රියෙල් 21 දිනය. ඔය අතර කාල පරතරය දින 35 කි. ඔබ හිතනවද දින 35 ක් තුල මේවගේ ප්‍රහාරයක් සැලසුම් කරලා ක්‍රීයාත්මක කරන්න පුලුවන් කියලා’’

ප්‍රශ්නය – ‘එසේනම් ඔබලාගේ ඉලක්කය වූයේ කුමක්ද?’

පිළිතුර – ‘‘ඇත්තටම අපේ ඉලක්කය වූයේ මහනුවර සිදුවීමට වසරක් පිරෙන විට එනම් මාර්තු 10-20 අතර සිංහල බෞද්ධයන් ඉලක්ක කොට ප්‍රහාර මාලාවක් දියත් කිරීමයි. නමුත් ඒක දෙපාරක් කල් දැමුවා . ඔය අතර නවසීලන්ත ප්‍රහාරය වාර්තා වුනා. එම සිදුවීම නිසා ඉලක්කය වෙනතකට යොමු වුනා’’

ප්‍රශ්නය – ‘ඒ කියන්නේ ඔබලා ස්වේච්ඡාවෙන් ඉලක්කය වෙනස් කළා ද ?’

පිළිතුර – “අපි ගෝබල් නෙට් වර්ක් එකක් , අපි ගන්නේ සාමූහික තීත්දු”

ලංකාවේ මුස්ලිම් සම්භවය

පැරණි සේද මාවතේ විශාලතම වෙළඳ නගරය වූයේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවයි . ආසියාව සහ යුරෝපය හමුවූයේ එතැනය. එකල්හි මොරොක්කෝ ජාතිකයන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වෙළඳ සි‍ටුවරු වූවෝය. ලෝකයේ හොඳම කුළු බඩු තිබුනේ ‘සෙරන්ඩිබ්’ (ලක්දිව) නම් දූපතේය. ‘සෙරන්ඩිබ්’ දූපතේ වෙළඳ ඒකාධිකාරිය මොරොක්කෝ ජාතිකයන් සතු වූවෝය. චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ දේශාඨන වාර්තා මෙකී පුවත සනාථ කරන්නේය. වළගම්බා රජ දවස බිසවකට වැළඳුණු රෝගයක් සුව කිරීම හේතුවෙන් මොරොක්කෝ ජාතිකයෙකුට ගම් 30 ප්‍රදානය කළ බව කියැවෙයි . තිහාරිය (තිහ හරි) එහි අවසන් ගම බව සඳහන්ය. ඉන් අනතුරුව විවිධ අවස්ථාවන්හිදී ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්ද මෙරටට පැමිණියෝය.

ගමේ පල්ලියට අභියෝග කිරීම

1998 වර්ශයේදී සෞදි අරාබිය ඉස්ලාම් ධර්මය හැදෑරීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළේය. ලංකාවේ තරුණයන්ද බුරුතු පිටින් සෞදි ශිෂ්‍යවත්ව ලැබුවෝය . සවුදියන් උපාධි ගත් තරුණයන් ගම රට බලා පැමිනෙන විට සම්පූර්ණ වෙනස් පුද්ගලයන් බවට පත්ව තිබුණි. ගමේ පල්ලියේ ඉගැන්වීම් වලට ඔවුන් අභියෝග කළෝය. ඔවුන් ‍රැඩිකල් ප්‍රතිසංස්කරණවාදීන් ලෙස පෙනී සිටියෝය . පල්ලියේ මවුලවීලාට වඩා සෞදි උපාධියට මාකට් එකක් තිබුණි. සාම්ප්‍රදායික ඉස්ලාම් ධර්මය වෙනුවට ‍රැඩිකල් ගුරුකුල (වහාබ්වාදය ) බිහි වූයේ මොවුන් අතිනි. තව්හිද් ජමාත්ලා බිහිවූයේ ඒ අනුවය. එතෙක් එකට සිටි ලාංකික මුස්ලිම් ජාතිකයන් බෙදී ගියේ ඒ අයුරුනි.

ඉරාණයට එරෙහි කුමන්ත්‍රණය

තවුහිද් ජමාත් ආගමික ප්‍රතිසංස්කරණ වේශයෙන් සිටියද ඔවුන් භූ දේශපාලනයට සිදුකළ බලපෑම කෙස් කෙලින් කරන සුළුය. අනාදිමත් කාලයක සිට ඉරාණය මුස්ලිම් ජාතිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ රටකි . අසූව අනූව දශක වල ඉරාණ සඟරා මෙරට සුලභ දසුනක් විය. ලාංකිකයෝ ඉරාණයට නිතර ආ ගියෝය . ඉරාණ විරෝධයේ මුල් බීජය ලාංකික මුස්ලිම් ජාතිකයන් අතර රෝපණය කළේ තව්හිද් ජමාත් සංවිධාන විසිනි. අද ලංකාවේ ඉරාණ සඟරා නැත. ඉරාණ සංචාර නැත. ඉරාණය යනු කුරාණයට පි‍ටුපා ඇති ජාතියකි. මේ අයිඩියොලොජිය පැල කළේ තව්හිද් ජමාත් උන්ය. තව්හිද් ජමාත් සංවිධානය හීන් නූලෙන් ඉරාණය පාවා දුන්නේ ඔවුන්ට ලැබුනු කොන්ත්‍රාත්තුව අනුවය.

තවුහිද් ජාමාද්ලාගේ ගෝඩ් ෆාදර්ලා කවුද..?

තව්හීද් ජමාත්ලාගේ ගෝඩ් ෆාදර් සෞදි අරාබියයි. සෞදි අරාබිය යනු බටහිර රූකඩයකි. සෞදිය ඊශ්‍රායෙලය සමග රහසේ ගනුදෙනු කරන රටකි. සෞදි රජ පවුලට යුදෙව් ලේ ඥාති සම්බන්ධකමක් ඇත. සෞද් ගෝත්‍රය රජවරු බවට පත් කලේ ටී. ඊ ලෝරන්ස් නම් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියාය. අද දිනයේ රජ පවුලට සහ මක්කා ශුද්ධ භූමියට ආරක්ෂක උපදෙස් සපයන්නේ ඊශ්‍රායෙලය විසිනි. සල්මාන් (එම්.බී.එස්) ඉවන්කා ට්‍රම්ප්ගේ පාසැල් මිත්‍රයකි. 2014 වන විට සෞදියේ ඔ‍ටුන්න හිමි කුමරා වූයේ නයිෆ්ය. නයිෆ් බලයෙන් පහ කොට සල්මාන් එහි පිහි‍ටුවූයේ සී.අයි.ඒ සංවිධානය විසිනි. ජමාල් කශොගි , රජ පවුලේ රහස් පිටට දුන් කුමාරවරු විදේශයන්හිදී ඝාතනය කිරීම හෝ පැහැර ගැනීම කළේ මොසාඩ් සහායෙනි. ලෝකයේ එදා මෙදා තුර සිදුවන දැවැන්තම ආයෝජනය නියොම් නගරයයි . නියොම් ව්‍යාපෘතිය ඊශ්‍රායෙල් වැඩකි. Dr. Klaus Kleinfeld ( CEO Neom project) Stephen A.Schwarzman (CI Neom) , Marc Raibert ( AI Head) යුදෙව් ජාතිකයන්ය. සෞදි- ඇමෙරිකා- ඊශ්‍රායෙල් හවුල පිලිබඳ අදහසක් ගැනීමට ඉහත කී කරුණු ප්‍රමානවත් වනු ඇත.

අයි.එස්. පැටිකිරිය

අයි.එස්. සහ තව්හිද් ජමාද් යනු සෞදි-ඊශ්‍රායෙල්-ඇමෙරිකන් හවුලේ බළල් අත්ය. එසේ කියන්නේ සාක්ෂි සහිතවය. අයි.එස්. පැටිකිරිය පිලිබඳ මේ ලියුම්කරු විසින් දිර්ඝ ලිපියක් මීට පෙර ලියා ඇත. (කියවන්න – https://m.facebook.com/story.php?story_fbid=2235217139876772&id=219430344788805&refid=18&tn=*s-R) මෑතකදී රුසියානු ප්‍රහාරක යානා ඇලෙප්පෝ නගරයේ අයි.එස්. මූලස්ථානය මිසයිලයක් යවා විනාශ කළේය. අලෙප්පෝ අයි.එස්. මූලස්ථානය පොළොවට සමතලා විය. එහි මිය ගිය උන් අතර ඊශ්‍රායෙල් 8ක්, ඇමෙරිකානු 7ක්, සෞදි ජාතිකයන් 5ක් , බ්‍රිතානය 6ක්, බෙල්ජියම් 2ක්, තුර්කි ජාතිකයන් 2ක් වූහ . (https://newspunch.com/russia-kill-us-british-israeli-troops-training-isis/) සෞදි-ඇමෙරිකන්-ඊශ්‍රායෙල් ‘ත්‍රීසම් ගේම්’ වලට තවත් උදාහරණ කුමටද ? අයි.එස්. සහ තව්හීද් ජමාත් යනු සෞදි- ඊශ්‍රායෙල්-ඇමෙරිකා හවුලේ කුලී හේවායන්ය. අයි.එස්. මීඩියා ඒකකය පාස්කු ප්‍රහාරය අයි.එස්. වැඩක් බව ප්‍රකාශ කොට ඇත, එසේනම් නම් ඒ පි‍ටුපස සිටින්නේ ඇමෙරිකාවය.

ගෝටාබයගේ හොරගල් ඇහිඳීම

දේශපාලනඥයින් යනු සදා ලෝක පූජිත ඩීල් කරුවන්ය. මෙසිරි ලංකාවේ දේශපාලනඥයින් මිස රාජ්‍යතාන්ත්‍රිකයින් පහල වූයේ ඉතා අඩුවෙනි. සරලව කිවහොත් රාජතාන්ත්‍රිකයන් වෘත්තීකයන් පිරිසකි. දේශපාලනඥයන් ඩීල් කරුවන්ය. කරුණු එසේ හෙයින් භූ දේශපාලන කරළියේ සිදුවිය හැකි දේ පිලිබඳ අනාවැකි පැවසීම දුෂ්කරය. දින කිහිපයකට පෙර ගෝටාබයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු වූයේය. එය පිරිසකට ගෙන දුන්නේ ආනන්දයකි. නමුත් එකී ආනන්දය ‍රැඳුනේ නැත. තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ගෝටා මව්බිමට පැමිණියේය. ගෝටාගේ ආධාරකරුවන් ඔහුව රථ පෙරහැරකින් ‍රැගෙන යාමට සැලසුම් කළේය. ටොයියන්ගේ ආනන්දය මෙන්ම ගෝටා පාක්ෂිකයන්ගේ ටිකිරි ජොලියද ගුවන්තො‍ටුපොලින් ඔබ්බට ගියේ නැත. මහ රාජපක්ෂ රථ පෙරහැර වැළැක්වීය.

ගෝටාබයගේ ඇමෙරිකානු ඩීල් එක

ටොයියන්ට බයියන්ට පමනක් නොව මධ්‍යස්ථ පුරවැසියන්ටද ගෝටාගේ කල්කිරියාව ප්‍රහේලිකාවකි . ගොටාබයගේ කථා වස්තුව සන්ෆවර්ස්ලාගේ එළාර දු‍ටුගැමුණු නාටකය මෙනි. ද්වන්ධ සටනේ කඩු පහරක් පැට්‍රෝල් ලාම්පුවට වැදී වේදිකාව අඳුරේය. ගෝටා පාක්ෂිකයන් රණකාමීය; ස්වයං වින්දනීය ය. ඔවුන් සිතන්නේ ‘‘බඩුම තමා, අන්න එළාරයගේ දත්සෙට් එක සිවිලිමේ, ගෝටා නෙලනව වගේ ඇට්ටි හැලෙන්ඩ’’ කියා ය. අනෙක් පාර්ශවයේ නන්දන වින්දනයද මීට නොදෙවෙනිය. නමුත් ඇත්ත කථාව අනෙකකි. කෑලි පහේ ටෝච් එකක් වේදිකාවට වදින විට දෙදෙනා කරමින් සිටියේ මාරුවෙන් මාරුවට පැට්‍රෝල් ලාම්පුවට හුළං ගැසීමය. ටොයියන් සිතන්නේ ඇමෙරිකාව අතින් ගෝටා සල්ලං වනු ඇතැයි කියාය. බයියන් සිතන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් ගෝටා රජවනු ඇතැයි කියාය. නමුත් මහපොළවේ යතාර්ථය මේ දෙකම නොවේ. ගෝටා ඇමෙරිකාව සමග කරන්නේ ඩීල් එකකි.

රනිල්ගේ කුරුවල් වීම

භූදේශපාලන න්‍යායාචාර්ය වරයෙකු වූ ඇල්ෆ්‍රඩ් මාහෙන් වරෙක ඉන්දියන් සාගර කලාපය ගැන අනාවැකියක් කීවේය. අනාගත ලෝකයේ ඉරණම තීන්දු වන්නේ ඉන්දියානු සාගරයේ ජලය මත යයි ඔහු කීවේය. චීනයේ ”එක්තීරයක් -එක් මාවතක්” ව්‍යාපෘතිය බටහිරයන්ට උන්හිටි තැන් අහිමි කොට ඇත. ජිබොටි වරායේ උද්ගතව ඇති තත්වය ඊට උදාහරණයය. ”වන් බෙල්ට් ” ක්‍රියාන්විතයට එරෙහි ඇමෙරිකානු සැලැස්ම මේ වනවිට එළි දක්වා ඇත . Asia-Africa Growth Corridor (AAGC) ලෙස හඳුන්වන්නේ එකී සැලස්මයි . (https://www.mofa.go.jp/files/000291344.pdf) මෙකී ව්‍යාපෘතියේ ලංකාවට අදාල කොටස ආරම්භ විය යුත්තේ 2020 වර්ෂයේය. ත්‍රිකුණාමල වරාය, නිදහස් වෙළඳ කලාප, ඉන්දියාව යා කරන පාලම් මෙම ව්‍යාපෘතියේ කොටස්ය. මෙම ව්‍යාපෘතියට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට රනිල් අපොහොසත් විය. රනිල් යනු අවලංගු කාසියකි.

ගෝටාබයගේ මැච් එක

ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ Asia-Africa Growth Corridor වැඩ කොටස ඉ‍ටුකළ හැකි පාලකයෙකු ලංකාවේ පිහි‍ටුවීමය. එකී පුද්ගලයා ගෝටාබය වුවද , ෆොන්සේකා වුව ද, චම්පික වුවද, සජිත් වුවද, කරු වුවද ඇමෙරිකාවට කම් නැත. නමුත් රනිල් වැනි කයිවාරුව පමණක් ඇති පෙන්දෙකුගෙන් ඔවුන්ට වැඩක් නැත. ගෝටාබය වැනි පාලකයෙකු ඇමෙරිකාවේ පළමු තේරීම වනවා නො අනුමානය. මක්නිසාදයත් හොඳින් හෝ නරකින් ගෝඨාභයට යමක් කළ හැකි යයි ඔවුන් සිතන බැවිනි. ලංකාවේ පවතින තත්වය හුදකලා සිදුවීම් වල එකතුවක් නොව එක් සිදුවීමක් අනෙක හා බැඳුනු දෙස් විදෙස් න්‍යාය පත්‍රවල එකතුවකි. දැන් පිටිය සකස්කර ඇත්තේ ගෝටාබයට බැට් කිරීමටය . ගෝටාබයට ස්වයංවරයක් හිමිය. තෝරා ගැනීම ඔහු සතුය. යම් හෙයකින් ගෝටාබය සිරිසේනට කොකා පෙන්නුවා සේ ඇමෙරිකාවට ද කොකා පෙන්නුව හොත් එය ගෝටාබයගේ නියත අවසානය වනු ඇත . මක්නිසාදයත් ගෝටාබයට හිතකර වාතාවරණය එක් රැයකින් ඔවුන්ට උඩු යටිකුරු කළ හැකි නිසා ය.

ගෝටා සිරිසේන ‍රැවැටූ හැටි

ජනවාරි 8 බලයට පැමිනි සිරිසේන ඊට පසුදා පැජට් පාරේ ලයිට් නිවාගෙන රාජපක්ෂලා සමග කළ සාකච්ඡාව දැන් ප්‍රසිද්ධ රහසකි. එහිදී සිරා – ගෝටා පැය 2ක පමන සාකච්ඡාවක් සිදු කළේය. එජාප පූට්‍ටුව නොපෑහෙන දීගයක් බව සිරිසේන කීවේය. අරක්ෂාව පිලිබඳ කරුණු කාරණාවල දී සහාය වන ලෙස සිරිසේන ගෝටාබයගෙන් ඉල්ලීමක් කළේය. එතැන් පටන් සිරිසේන සතු සේනාධිනායක බලතල බොහොමයක් ක්‍රියාත්මක වූයේ ගෝටාගේ උපදෙස් පරිදිය. සිරා-ගෝටා අතර පැවතියේ අයියා-මලෝ ස්නේහයකි. ගෝටා සිරිසේනගේ කපටි ආරක්ෂකයා විය. නිදහස් පක්ෂයේ එකම ගැලවුම්කරුවා විය. සිරිසේන ඊට හිලව් ලෙස ගෝටාට එරෙහි විමර්ශන අල කළේය. සිරිසේනගේ සැලසුම වූයේ ගෝටා නිදහස් පක්ෂයට ඈදාගෙන 2020 ජනපති අපේක්ෂකයා වීමය. ‘‘සිරා ජනපති- ගෝටා අගමැති’’ ඔවුන්ගේ තේමාව විය. ගම්මන්පිල, වීරවංශ වැනි දේශපාලකයන් සිරා-ගෝටා ව්‍යාපෘතියට ගොට්ට ඇල්ලුවෝය..

සිංහල බෞද්ධ ඡන්ද ටික ගරා ගැනීම සහ මදිපාඩුවට තව්හීද් ජමාත්‌ගෙන් බැලන්ස් කිරීම

ලංකාවේ බිහිවූ ප්‍රථම ජමාත් සංවිධානය ශ්‍රී ලංකා තවුහිද් ජමාද් SLTJ නම් විය, අබ්දුල් රසාක් එහි නායකයා විය. ‘බුදුන් මීනී මස් කෑවා’ යයි කීවේ ඔහුය, ෂැන්ග්‍රිලා බෝම්බකරු සහ්රාන්ද රසාක්ගේ ගෝලයෙකි. පසු කාලයේදී රසාක්ගෙන් වෙන්වූ සහ්රාන් නැෂනල් තවුහිද් ජමාද් NTJ සංවිධානය බිහි කළේය. ජමාත් සංවිධාන දහයක් පමණ ලංකාවේ ක්‍රියාත්මකය . නමුත් ලංකාවේ මුස්ලිම් ජාතිකයන් 70% පමන සාම්ප්‍රදායික උලමා සභාවේ අනුගාමිකයන්ය. සාම්ප්‍රදායික උලමාවරුන් රාජපක්ෂ විරෝධීන්ය. නමුත් ජමාත් එසේ නොවේ. ඔවුන් උලමා සභාවට එරෙහිය, රාජපක්ෂ හිතවාදීය. ජමාත්ලා සිංහලට පරිවර්ථනය කළ කුරාණය මුලින්ම පිළිගැන්වූයේ මහින්ද රාජපක්ෂට ය. 2009- 2014 කාලයේ තව්හීද් ජමාත් සංවිධානයට සුවිශේෂ අනුග්‍රහයක් ගෝටාබයගෙන් ලැබුණි. ලංකාවේ දේශපාලකයන් ජමාත් සංවිධාන සමග ඩීල් කළ ද අනෙක් රටවල දේශපාලකයෝ ඔවුන් සමග කිසිදු ගනුදෙනුවකට නොයති. ජමාත් සංවිධාන ඇතැම් මුස්ලිම් රටවල තහනම් කොට ඇත. කලිඩා ෂියාගේ කාලයේදී බංගාලි ජමාත් නායකයන් කිහිප දෙනෙකුට මරණ දන්ඩනය පවා පැනවූයේය.

ජමාත් සංවිධාන භයානක වන්නේ ඇයි..?

තව්හීද් ජමාත් අනුගාමිකයන්ගෙන් 80% ක් පමන නව යොවුන් තරුණ තරුණියන්ය. මොවුන් ස්මාට් තාක්ෂනය මිට මොළොවාගෙන ඉපදුන උන්ය. මොවුන් දෙමව්පියන්ට වඩා ස්මාට් ෆෝන් එකට ලැදිය, ආගමක් නැත. ජාතියක් නැත. බඩුවක් මුට්‍ටුවක අගයක් නැත. නමුත් ගිය ගිය තැන ලොරි ටෝක් දෙන්නෝය. තව්හිද් ජමාත් ඉලක්ක කළේ මෙකී දරුවන්ය. ඉස්ලාමය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගම බව කීවේය. අන්‍ය ආගමිකයන් ලෝක පැවත්මට තර්ජනයක් ලෙස ඉගැන්වුයේය. මුස්ලිම්වරු සුළු ජාතියක් ලෙස විසීමෙන් ඵල රහිත බව පෙන්වා දෙන්නේය. ඉස්ලාම් යනු රටවල් පාලනය කරන ධර්මය බව කීවේය. ඊට උදාහරණ ලෙස කලිෆා වරු, ඔටෝමන්ලා පෙන්වන්නේය. ඇතිකරන සතුන් මෙන් පාසැල් ශිෂ්‍යයින් සහ යෞවනයන් ජමාත් සංවිධානයට අවැසි පරිදි හසුරුවන්නේය. පෝෂණය කර මුදාහරින ජමාත් සංවිධාන සහ ඉස්ලාමීය කල්ලි වල පාලනය එහි ‘ගොඩ් ෆාදර්’ අතින්ද ගිලිහී යන්නේය. ලොව පුරා සිදුව ඇත්තේ එයයි . තව නොබෝ දිනකින් ලංකාවේ සිදු වන්නේද එයයි.

ගෝටා-සිරා ඇන්දවූ කුමන්ත්‍රණ..

සිරාගේ සැලසුම වූයේ ගෝටා පෙන්වා සිංහල බෞද්ධ බහුතරය දිනා ගැනීම සහ මදිපාඩුව ජමාත් සංවිධාන වලින් පියවා ගැනීම ය. නීතිය හා සාමය අමාත්‍යංශය රනිල් යටතේ පවතිද්දී මහනුවර ප්‍රහාරය දියත් කළේ ගෝටා-සිරා සැලසුමකට අනුවය. ක‍ටුගස්තොට අඹතැන්න පන්සලට බෝම්බ ගැසුවේ ජනපති කාර්යාලයෙන් වැ‍ටුප් ලැබූ නාමල් කුමාර ප්‍රමුඛ සුනඛ ‍රැලය. එය පොලිස් පරීක්ෂණ හමුවේ සාක්ෂි සහිතව ඔප්පු වූවකි . මහනුවර භීෂණය සතියක් පුරා පවත්වාගෙන ගියේ සිරා-ගෝටා සැලසුමට අනුවය. මහනුවර ප්‍රහාරයේ අරමුණ වූයේ ‍රැඩිකල් මුස්ලිම් තරුණයින් කුපිත කරවා සිංහලයන්ට එරෙහි ප්‍රහාරයකට පෙළැඹවීමය. සහ්රාන් එකී ආරාධනය බාරගත්තේය . දැන හෝ නොදැන හිස්බුල්ලා, රිෂාඩ්, අසාත් සාලි, මුජිබර්, ෆයිසර්, තව්හීද් ජමාද් ඝාතකයන් පෝෂණය කෙළෝය.

සහ්රාන් දෙස් විදෙස් කුමන්ත්‍රනයක ‘බිලි බෝයි’ කෙනෙකු බවට පත්වීම

2019 වසර උදාවන විට සහ්රාන්ගේ සංවිධානය බිහිසුණු ත්‍රස්ත කණ්ඩායමක් බවට පත්වී තිබුණි. ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගෙන තිබුණි. සහ්රාන් දෙස් විදෙස් කුමන්ත්‍රනයක බිලි බෝයි කෙනෙකු බවට පත්ව තිබුනි. සහ්රාන්ගේ මරාගෙන මැරෙන බලකාය 200 කට ආසන්න වී තිබුණි. අවි ආයුධ බුරුතු පිටින් ඔවුන් සතු විය . මහනුවර කෝලාහලයට වසරක් සපිරෙත්ම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සහ්රාන් සියල්ල සූදානම් කොට තිබුණි. මාවනැල්ලේ බුදු පිලිම කැඩුවේ ප්‍රහාරයට අත්වැලක් තනා ගැනීමටය. මාවනැල්ල ජාතිවාදී කෝලාහල වලට නම් දැරූ ප්‍රදේශයකි. කළු ජූලියේදී අහල පහල රත්‍රන් බඩු සාප්පු ටික සුද්ද කළේ මොවුන්ය . 2001 දී මාවනැල්ල නගරයේ මුස්ලිම් කඩ 17 ගිනි තැබුවේය. නමුත් වාසනාවකට බුදුපිලිම සිදුවීමට ඔවුන් ප්‍රතිචාර නොදැක් වූවෝය. එසේ වී නම් මුල්ම බෝම්බය පත්තු වන්නේ මාවනැල්ලේය.

සිරිසේන අහිංසකද ?

මාවනැල්ලේ බුදු පිලිම කැඩුවේ තව්හිද් ජමාද් අනුගාමිකයන්ය. කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වූ මොහොමඩ් රසාක් තස්ලීම් බුදුපිලිම කැඩීම පි‍ටුපස කථාව ආරක්ෂක අංශ වලට හෙළි කළේය. ඊට උරණ වූ ඔවුන් කබීර් හෂීම්ගේ ලේකම්වරයාට වෙඩි තැබුවේය. දින කිහිපයකින් අත්අඩගුවේ සිටි සහ්රාන්ගේ ගෝලයන්ට අද්භූත ලෙස නිදහස ලැබුණි. සහ්රාන්ගේ ගෝලයන් නිදහස් වූයේ සිරිසේනගේ විශේෂ නියෝගයකට අනුවය. ඔහු නිදහස් කිරීමට සිරිසේන පෙළඹවූයේ අසාත් සාලි සහ හිස්බුල්ලා විසිනි. කෑගල්ලේ නිදහස් පක්ෂ සංවිධායක ඉම්තියාස් කාදර්ගේ නිවසෙන් ආයුධ ගබඩාවක් සොයා ගත්තේ මේ කාලයේදීය. ගෝටා වාදියෙකු වූ ඔහු ආසන සංවිධායක ලෙස පත් කළේ සිරිසේනය. මේකී නොකී ජවනිකා සියල්ල පෙළගැසුනේ අන් කිසිවකට නොව මැතිවරණ සිතියම එක් ‍රැයකින් වෙනස් කිරීම වෙනුවෙනි.

ඇලයිනා ටෙප්ලීට්ස් ප්‍රහාරය පිලිබඳ තොරතුරු නොදුන් බව කීවේ ඇයි?

පුතා හොරෙන් කෙහෙල් කැනක් කැපීමට යන විට උගේ අම්මා වතු හිමියාට ඔත්තුව දෙන්නේ නැත. ඇත්තටම ඇමෙරිකානු එම්බසිය කිසිදු බුද්ධි තොරතුරක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ලබා දුන්නේ නැත. ඒවා ලබා දුන්නේ ඉන්දියාවේ ‘රෝ’ සංවිධානය විසිනි. නමුත් ”නියර් ඊස්ට් ඇන් සවුත්” කලාපයේ සී.අයි.ඒ මෙහෙයුම් සිදුකරන්නේ රෝ සහ මොසාඩ් සම්බන්ධ වී බව ඇලයිනාට අමතක වී ඇත. මොවුන් අනිවාර්යෙන් තොරතුරු හුවමාරු කරගත යුතුය. කීමට ඇත්තේ මෙපමණකි. ”රෝ ඔබට ස්තූතියි..! ලංකාවේ බුද්ධි අංශ ගැන ලැජ්ජයි ”

වැටත් නියරත් ගොයම කන රටක හෙට දවස

වසර 2019 ආරම්භ වන විට සිරිසේනගේ ජනප්‍රියත්වය 2% පමන වැ‍ටුනේය . ආරම්භයේ සිටම ගෝටා ගැසුවේ ඩබල් ගේමකි. නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම ඔහු දිනෙන් දින කල් දැමුවේය. අවසානයේ ගෝටා සිරිසේනට පොල්ල තබා පැදුරටත් නොකියා මාරු වුනේය. රාජපක්ෂ දේශපාලනය අඩසිය වසකට එහා ගිය එකකි. එදා සුදු ඒජන්තයාගෙන් පාටක් ඉල්ලූ විට රාජපක්ෂලාට ලැබුනේ සපත්තුවේ පාටය. නමුත් ගමේ උන්ට කීවේ වෙන කථාවකි. ”මේක උබලගේ හේනෙ, කුඹුරේ, කුරහන් යායේ පාට, උඹල දන්නවද මේ පාට ගන්ඩ මම සුද්ද එක්ක කොච්චර හැප්පුනාද කියලා’’. රාජපක්ෂලා යනු ලාංකික දේශපාලනයේ කෛරාටිකම පෙලපතකි. සුද්දන් සමග පමනක් නොව එල්.ටී.ටී.ඊය එක සමගද ඩීල් දැමූ පිරිසකි. එහෙයින් තව්හිද් ජමාද්ලා සමග රාජපක්ෂලා ඩීල් දැමීම ගැන පුදුම විය යුතු නැත.

රනිල්ගේ පැටිකිරියද මීට නොදෙවෙනිය. රනිල්ගේ මුල් පුරුක් ඉන්දියාවේ සිට මෙහි පැමිණියේ සුද්දන්ගේ හමුදා කඳවුරු වල ආවතේව කිරීමටය. අනතුරුව සුද්දන්ට ගොට්ට අල්ලා භාෂා පරිවර්තන කාර්ය කළෝය. තාන්න මාන්න ලැබුවෝය. අවසානයේ රජාටත් සුද්දය දුන්නෝය. ලංකාවේ තනි විශාලතම දේශපාලන පක්ෂය විනාශ කළේ රනිල්ය. තොල් රතු ඕතෑනි රෝයල් ගල් කල්ලිය කෙරේ කලකිරුනු ජාතික නායකයන් 88 දෙනෙකු රනිල් ගැන කලකිරී පක්ෂය හැර ගොස් ඇත.

2002 දී ජවිපෙ ඇමතිධූර 4 ක් ලැබුවේය. ඔවුන්ගේ ඇමතිවරු සතියේ එක් දිනක් මහජන දිනය ලෙස නම් කළේය. ‍රැකියා සොයා පැමිනෙන පක්ෂිකයන්ගෙන් මහජන දිනය පිරි ඉතිරී ගියේය. ජවිපෙ මෙය සැලකුවේ කරදරයක් ලෙසය. මහජන දින පැවැත්වීම අවලංගු කෙළේය. වැඩ කරනවාට වඩා විවේචනය කිරීම කොතරම් ලේසි දැයි ඔවුහු සිතූහ. ඇමතිධූර අත්හැරීමේ ඇත්ත කථාව මෙයයි. මේ කථාව කියන්නේ මේ ලියුම්කරු නොව සෝමවංශ අමරසිංහය. සෝමවංශගේ සමීපතමයන් කියන්නේ ඔහුගේ මරණය ද සැක කටයුතු බවයි. දෛවයේ සරදමක් මෙන් ජවිපෙ ද අද හොට පටලාගෙන ඇත. ප්‍රධාන පක්ෂ වලට බැන අඬගසමින් කාලය ගෙවූ ජ.වි.පෙ ට දිට්ඨධමමවේදනීය කර්මය පල දී ඇත. ජනතා විමුක්ති පෙරමුණ දෙමටගොඩ දී ලෝකයේ පැරණිතම වෘත්තියේ නියැලී අතේ මාට්‍ටු වී ඇත.

රටේ අගමැතිවරයා මාස 5-6කින් ආරක්ෂක මන්ඩලයට කැඳවා නැත . පොලිස්පති කැඳවා නැත. ජනාධිපති පිස්සාට මෙන්ම ඔවුන්ටද ඒ පිලිබඳව වගේ වගක් ද තිබී නැත. අද රට පවතින්නේ භයානක අඩියක ය . පන කෙන්ද ‍රැක ගැනීම පළමු අභියෝගය බවට පත්ව ඇත. ලක්ෂ ගණනකට ‍රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇහිරී ඇත. මුස්ලිම් ජනයා කෙරේ පැවති විශ්වාසය දෙදරා ගොස් ඇත. මින් මතු අනෙක් ජාතීන් ඔවුන් දෙස බල්ලන්නේ සැකයෙනි . දිග කථාවේ සාරාංශය සරලය. ‘රටට අලුත් නායකයෙකු වුවමනාකර තිබේ’.

-කීර්ති රත්නායක-
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

උපුටනය: ලංකා ඊ නිව්ස්

RSL

Related Posts