පාස්කුදා ප‍්‍රහාරය වළක්වා නොගැනීම ගැන පෙත්සම් විභාගයට
- RSL
- July 9, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මොහමඞ් සහරාන්ගේ ‘තව්හිද් ජමාත්’ නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය කතෝලික පල්ලිවලට හා ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු හා අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්‍ෂාවට පියවර නොගැනීම ගැන චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීමට හත්දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් ඊයේ (08) පත් කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්. ටී. ඞී. දෙහිදෙනිය යන මහත්වරුන් සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්මියගෙන් විනිසුරු මඩුල්ල සමන්විත වේ.
ප‍්‍රධාන වශයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට එරෙහිව පෙත්සම්වලින් චෝදනා එල්ල කර ඇත. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, රිෂාඞ් බදුර්දීන්, තලතා අතුකෝරල ඇමැතිවරුන්ට හා ආරක්‍ෂක ප‍්‍රධානීන් ඇතුළු මුළු රජයම ඒ වූ විනාශයට වගකිව යුතු යැයි පෙත්සම්කරුවෝ කීපදෙනෙක් කියා සිටිති.
කොළඹ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ජගත් එස්. විදානගේ, සමන් නන්දන සිරිමාන්න, ජූඞ් ලක්නාත් පෙරේරා, ශිවන්ති පෙරේරා, නාමල් කරුණාසිරි, එල් කේ. රාමයියා සහ හෙන්රි මේරියන්, අශෝක් ස්ටීවන්, බෙනඩික් ටෙනිසන්, සරත් ඉද්දමල්ගොඩ, පොල් ඉවෙන්ටියස්, ෂෙරාඞ් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පූජ්‍ය තුමන්ලා ඇතුළු කීපදෙනකු විසින් පෙත්සම් ගොනුකර ඇත.
ඉකුත් පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විදේශිකයන් 37 ක් ඇතුළු 359 දෙනකු මියගිය බවත් දේපළවලට විශාල හානියක් සිදුවූ බවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් බුද්ධි අංශවලින් තවත් මාර්ග වලින් ලැබුණ තොරතුරු අනුව නිසි පියවර ගනු ලැබුවා නම් සිදුවූ හානිය වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වන බවත් පෙත්සම්වල සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය ගැන සම්පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා ඊට ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු හිටපු පොලිස්පති, හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු සියලූ දෙනාට එරෙහිව සාපරාධී අපරාධ නීතිය යටතේ අධිකරණයක් හමුවේ නඩු පවරන ලෙසට නීතිපතිට නියෝග කරන ලෙසත්, බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණ වන්දි මුදලක් ගෙවන මෙන් රජයට නියෝග කරන ලෙසත් ජනතාවගේ ආරක්‍ෂාවට නිසි පියවර ගැනීමට අපොහොසත් වීම හේතුකොට ගෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සම්වලින් ඉල්ලා ඇත.

