දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටෙයි

Spread the love

වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.

මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.

දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.

වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.

එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ.

-ලංකාදීපය ඇසුරින්-

RSL

Related Posts