චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් බිලියන 2 ක්

Spread the love

මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400ක ආධාර මුදලට අමතරව, 2018 – 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා පැවසීය. 16 වැනි දා, සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ෂී ජින්පිං මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබා දීමට චීනය ක්‍රියා කරන බවය. චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවන්ට වසර 60 ක් සහ රබර් – සහල් ගිවිසුමට වසර 65 ක් පිරෙන මේ වසරේ පැරැණි සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුව සංවිධානය කිරීම සහ මේ වසරේ මුල දී ඩවොස් ලෝක ආර්ථික සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී වීම කාලීන අවශ්‍යතාවක් බවය. විවෘතව හා සුහදව සියලු රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමින් පොදු ජයග්‍රහණ කරා එළැඹීමේ පදනම එමගින් නිර්මාණය වන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

පොදු සංවර්ධනය හා සමෘද්ධිය ලබා ගත හැක්කේ ජාත්‍යන්තර එකමුතුව හරහා බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමගින් ගෝලීයකරණයේ අහිත කර ප්‍රතිඵල අවම කර ගැනීමට අවකාශ සැලසෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ආයෝජනයන් සඳහා චීනය ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය කෘතඥතාවය චීනය වෙත පිරිනමා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘතීන් සඳහා චීනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව නිරන්තර සංවාදයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කර්මාන්ත කලාප, ආර්ථික කවුළු, ගුවන් හා නාවුක සේවා, සංචාරක ආදී ක්ෂේත්‍රයන් තුළ චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා තව තවත් පුළුල් කිරීමේ ඉඩකඩ පිළිබඳව ද ෂී ජින්පිං මහතා අදහස් දැක්වීය.

විද්වතුන්, වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන්, ආගමික නායකයන් හා විශ්වවිද්‍යාල අතර අන්තර් සම්බන්ධතා ඇති කිරීමේ අවකාශයන් සොයා බැලිය යුතු බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

සාමාන්‍ය යටිතල පහසුකම් වලින් ඔබ්බට ගොස්, නිෂ්පාදන ක්‍රියාවලිය හා ආර්ථිකය ශක්තිමත් කෙරෙන විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. වරාය හා ගුවන් තොටුපොළ ආශ්‍රතව කර්මාන්ත, ආර්ථික හා නිෂ්පාදන කලාප ඇති කිරීම ඔස්සේ කාර්මීකරණ වැඩ පිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා චීනය ලබා දෙන සහයෝගයට වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පළ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් චීන ජනාධිපතිවරයා වෙත පිරිනමමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය හා එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලාංකේය අභිලාසය බවය.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා අපේක්ෂාව ජය ගැනීම උදෙසා ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය හරහා දැවැන්ත ශක්තියක් ලැබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ වෙනුවෙන් චීනය දක්වන සහයෝගය අගය කළේය.

RSL

Related Posts