බැඳුම්කරේට සම්බන්ධ සමාගමකින් අල්ලස් ගත් මන්ත්‍රීවරයා දයාසිරි ද..?

Spread the love

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.

රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

එමෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් රහස් පොලිසිය හමුවේ පිළිගෙන ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24) නියම කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාව සිටියදී දූෂිත නිලධාරීන් සමඟ.. කළ ගනු දෙනු ගැනද පසුගිය කාලයේදී හෙළිවිය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි තැනැත්තා සමඟ මෙම දූෂිත ගනු දෙනුවල ඔහු යෙදී සිටියේය. නව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පත් වීමත් සමඟ මෙම නිලධාරියාගේ වැඩ තහනම් කොට එන දූෂිත ගනුදෙනු ගැන විමර්ශනයක්ද මේවන විට ආරම්භ කොට ඇත.

RSL

Related Posts