ලක්ෂ 910ක ජනතා මුදලින් හැදූ අම්මගෙ-අප්පගෙ කෞතුකාගාරය!

Spread the love

DA

මෙරට දේශපාලනය අනාදිමත් කාලය සිට පැවත එන්නේ ජනතාව මූලික කරගෙන නොව තමා මූලිකව සිතීමෙනි. ජනතා නියෝජිතායතනයකට පත් වෙන කවුරුන් හෝ පළමු මොහොතේ සිට තම පවුල ගොඩ දමාගන්නට වලිකෑම ඉහඳ ගසා ඇති රෝගයකි.

මෙම රෝගය වඩාත් බරපතල ලෙස උත්සන්නව තිබූ කාල වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලය හැඳින්විය හැකි ය. විශාල ප්‍රමාණයේ වැසිකිලියක් නිර්මාණය කළ ද එය තම නම දමා ගැනීමේ රෝග ලක්ෂණය ඉතිරී පැතිරී තිබුණි.

නැසීගිය දේශපාලනඥයෙක් වූ ඩී.ඒ.රාජපක්ෂ නම් තම පියා නියම ප්‍රමාණයට වඩා ඔසවා තබන්නට රාජපක්ෂ පුතුන් සිව්දෙනා වූ එවක ජනපති මහින්ද/ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය/ කතානායක චමල්/ කොමිස් ඇමති බැසිල් නොදැරූ වෙහෙසක් නැත. වඩාත් විසුළු සහගත කාරණය නම් මොවුන් විසින් ශ්‍රී.ල.නි.ප. ය ගොඩ නැගූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකටත් වඩා ඩී.ඒ. රාජපක්ෂ ඔසවා තැබීමට කැස කැවීම යි. වරක් ඇඹිලිපිටියේ ඇති චන්ද්‍රිකා වැව අසල මහා පුවරුවක් ඉදිකර තිබුණි. එහි ඉදිරියෙන් ලොකුවට ම දමා තිබුණේ ඩී.ඒ ගේ රුවයි. බණ්ඩාරනායක පිටුපසට විසිව තිබුණි. බණ්ඩාරනායකලා එකී වැව නිමවා චන්ද්‍රිකා යනුවෙන් සිය දියණියගේ නමින් එය නම් කර තිබුණි.

ජනතා මුදල් අපහරණය කරමින් තම මාන්නය ගොඩ දමාගන්නට නිර්මාණය කළ ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ පරීක්ෂණ අවසන්ව ඇතැ යි වාර්තා වෙන්නේ මේ අතර ය. ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටිය දී ඒ යටතේ තිබූ ශ්‍රී ලංකා ඉඩම් ‍ ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2014 වර්ෂය තුළ විවිධ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරී ඇති මෙම ඊනියා ස්මාරක කෙළියට ජනතා මුදල් රු.ලක්ෂ 900කට වඩා වියදම් කර ඇත. සියලු ඉදිකිරීම් කර ඇත්තේ ආරක්ෂක අංශ විසිනි. කිසිදු නෛතික කොන්දේසි සැපිරීමකින් තොරව මේ සිදුකර අැති ජනතා මුදල් අවභාවිතය සම්බන්ධ පරික්ෂණ අවසන්ව ඇති අතර නුදුරේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

RSL

Related Posts