ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සිල් රෙදි ඇඳගැනීමේ සුදානමක – ඇමති චම්පික

Spread the love

පසුගියදා මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් පිටුපස සිටින ලේ තැවරිච්ච ටයි කෝට් ඇඳගත්ත මිනීමරුවෝ සහ දේශපාලනඥයින් වහා හෙලි කිරීමට පොලීසිය පියවර ගත යුතු බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(26) දින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව බත්තරමුල්ල හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන්, විශේෂයෙන් රාජපක්ෂ පක්ෂයේ පිරිස් ඒ මුස්ලිම් විරෝධි ගැටුම් මෙහෙයවූයේ අපිය, ඒ පිටුපස ඉන්නේ අපිය, යනුවෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ, ඒ වගේම අනෙකුත් ප‍්‍රදේශවලත් පතුරුවා හැරියා. පොලීසියට ඒ අනුව අපි ලිපියකින් දැනුම් දුන්නා කරන ලද පරීක්‍ෂණ සියල්ල පිළිබඳව සොයා බලා විමර්ශනාත්මක පරීක්‍ෂණයක් සිදු කරන ලෙස. පොලීසිය සහ විමර්ෂණ අංශ ඒ පිළිබඳව විශාල පරීක්‍ෂණයක් සිදු කර තිබෙන බව පසුගිය බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් උනා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේවට සම්බන්ධ දේශපාලන පිරිස් දැන් රටට හෙළි කරන ලෙසත් විශේෂයෙන්ම අර මියගිය කුමාරසිංහ සිංහල තරුණයාගේ නිවසේදී පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් කළ කතාව සහ එතනින් ජනතාව කුපිත කළ ආකාරය සහ දැනට සීසිටිවි දර්ශන සහ වෙනත් කැමරා දර්ශනවලින් අත්අඩංගුවට ගෙන තිබෙන පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවාදී පිරිස් සහ අනෙකුත් සිද්ධීන්වලට සම්බන්ධ ආධාරකරුවන් පිළිබඳ හෙළි දරව් කරන ලෙස. මම වගකීමෙන් කියනවා මේ සිද්ධිදාමයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිසෙන් සැලකිය යුතු පිරිසක් රාජපක්ෂවාදීන් කියන එක.

ඒ වගේම අපේ පක්ෂයට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් මේ ගැටුම සම්බන්ධයෙන් කිසිම ආකාරයකවත් සම්බන්ධයක් නැති බව මේ විමර්ෂණවලින් ඔප්පු වී හමාරයි. රාජපක්ෂගේ අසූචිවලේ ලැගලා ඉන්න සූකර දේශපාලනඥයින් ඒ පහරපු අසූචි ඒ අයටම වලදන්න සිදුවී තිබෙනවා. මේ කි‍්‍රියාදාමයේ අවසාන වශයෙන් වෙලා තිබෙන්නේ අන් අයට චෝදනා කළාට ඒ අයම තමයි මෙය සිදුකර තිබෙන්නේ. පසුගිය වකවානුව පුරාම සිංහල ජනතාව තුළ නැති භීතියක්, ප‍්‍රභාකරන් කාලතුවක්කු අරන් සටන් කළ කාලේ නොසිටපු පිරිස් නැති භීතීන් හදලා තමන් තමයි රට බේරගන්න ඉන්නේ කියා දකුණේ කිව්වා. උතුරට ගිහින් වෙන කතාවක් කිව්වා. ඒ විදිහට දෙපැත්ත වංචාවෙන් ගෙනගිය මේ පිරිස්වලට මේ පොලිස් පරීක්‍ෂණවලින් ප‍්‍රතිපල ලැබී තිබෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා පොලීසියෙන් ඒ අය ප‍්‍රකාශයට පත් කරන්න. පාර්ලිමේන්තුවේ දී මේ අයගේ නම්ගම් සභාගත කිරීමට කි‍්‍රයා කරන ලෙස. නැතිනම් අපට තිබෙන තොරතුරුවලින් ඒ කරුණු ඉදිරිපත් කරන්න අපට සිදුවෙනවා. නමුත් එය පොලිසිය නිල වශයෙන් කරන එක තමයි සුදුසු, මොකද මේවා පිටුපස සිටින මේ කාලකන්ණි දේශපාලන හස්තයන් හෙළිදරව් කර ගැනීම සඳහා.

අප බොහොම වගකීමන් කියනවා අපේ පක්ෂයට සම්බන්ධ කිසිම භික්ෂූන් වහන්සේ නමක්, කිසිම ගිහියෙක්, කිසිම සාමාජිකයෙක් මේ කිසිම සිද්ධියකට සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම කිසිම ඔප්පු කිරීමක් ඒ අනුව සිදු වී නොමැති බව. ඒ අනුව අපි ඉදිරියටත් මේ රටේ අපගේ ජාතික උරුමය වෙනුවෙනුත්, ඒ වගේම මේ රටේ සමාජ සාමය වෙනුවෙනුත් අපි බොහො නිර්භීතව අපේ කටයුතු කරගෙන යනවා. ඇතැම් ඇත්තෝ උත්සාහ කළා මේ සම්බන්ධයෙන් අතීතයේ සිදුවීමුත් පටලවා ගන්න. බේරුවල ඇති වූ සිද්ධිය, මාවනැල්ලේ, නුවරඑළියේ මේ වගේ තැන් තැන්වල ඇති වූ සිදුවීම්වලට අපේ සම්බන්ධයක් තිබුණාය කියලා පෙන්වන්න. අපි බොහොම වගකීමෙන් කියනවා ඒ කිසිම දෙයකට අපේ සම්බන්ධයක් නැහැ කියලා. ඒ සිදුවීම් ඇතිවුණාට පසුව ඒ විහාරස්ථානවලට, ඇතැම් තැන්වල ජනතාවගේ දේපලවලට හානි සිදුවුනහම ඒතැන්වලට ගිහින් එම ජනතාවට රැකවරණය ලබාදීලා, ආරක්‍ෂාව ලබාදීලා ඒවා නැවත ගොඩනගන්න අපි දායක වූ බව අප ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම අපි ඒවයේ සත්‍ය ප‍්‍රකාශ කළා මිස බේරුවල ආදී සත්‍ය සිදුවීම ප‍්‍රකාශයට පත් කළා මිස කිසිම සිදුවීමකට අපේ කිිසිම සාමාජිකයෙක් සම්බන්ධ වුනෙත් නැහැ. වෙලත් නැහැ. ඉදිරියටත් එහෙමයි. ඒ වගේම අපි ත‍්‍රස්තවාදීන් සිටි කාලයේ සිටම ඒවාට එරෙහිව අවිහිංසාවාදීව කටයුතු කළා මිස කිසිම ආකාරයක සන්නද්ධ කි‍්‍රයාදාම වල නියැලිලා නැහැ. සන්නද්ධ කල්ලි රජයේ අරමුදල්වලින් පවත්වාගෙන ගිහිල්ලා, සිය ගණනක් මිනිසුන් අතුරුදහන් කළ මිනීමරුවෝ අද තමන්ගේ ප‍්‍රකාශකයෝ හරහා මේවයේ වගකම අනෙක් අයට පැවරීමේ ශුද්ධවන්තයින් වීමේ තමන්ගේ ලේ තැවරුණු ටයි කෝට්වලට උඩින් සිල් රෙදි ඇඳ ගැනීමේ ව්‍යාපාරයක් තමයි මේ පොහොට්ටු පක්ෂය අද කි‍්‍රයාත්මක කර තිබෙනවා. අපි සතුටු වෙනවා මොකද අපි අභියෝගයක් හැටියට දැකීම පිළිබඳව. ඒ නිසා අප ඉදිරටයත් මේ රටේ සාමය ඇති කරලීම සඳහා කටයුතු කරනවා.

ඒ වගේම සමහර මුස්ලිම් අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරය කියා කොටසක් චෝදනා කර තිබුණා. අපි ලියපු පොත පත විසින් තමයි මේවා ඇති කළේ කියා. අප ලියපු පොත්පත් ශාස්ත‍්‍රීය පොත්පත්. ඒවායේ තිබෙන එක වැරදි කරුණක් හරි පෙන්නලා දෙන්න කියලා අපි අභියෝග කරනවා. මොකද මවිසින් රචනා කළ අල්ජිහාඞ් අල්කයිඩා කෘතියෙ තියෙන්නේ, අල්කයිඩා ත‍්‍රස්තවාදී සංවිධානය ඇතිවූ ආකාරය හා ගමන් මග. එහි කිසිම සාමාන්‍ය මුස්ලිම් ජනතාවකට හෝ ලංකාවේ මුස්ලිම් සමාජයට සම්බන්ධයක් නැහැ. ඒ වගේම ඒ වකවානුවේ අග්නිදිග විශ්ව විද්‍යාලයට එකතු වෙලා ලංකාව තුළ වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් ආරම්භ උනා. ඒ පිළිබඳවයි ඒ සඳහන් කර තිබෙන්නේ. කවුරු හරි කියනවා නම් එතනයි ප‍්‍රශ්නේ තියෙන්නේ කියලා ඒ ගොල්ලෝ අල්කයිඩා එකේ සාමාජිකයෝ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගොල්ලෝ ලංකාවේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවන්න ගිය අය විය යුතුයි. මේ රටේ ඒ අයට විතරයි එම පොත්වලට විරුද්ධ විය හැක්කේ. ශාස්ත‍්‍රීය වශයෙන් කිසිම වැරදි කරුණක් පැහැදිලිව ලියලා නැහැ. ත‍්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ. සම්බන්ධයෙන් ලියපු ශාස්ත‍්‍රීය සංග‍්‍රහවලත්, ලේකයේ දේශපාලනය පිළිඳව පළ කර ඇති ශාස්ත‍්‍රීය සංග‍්‍රහවලත් සිද්ධ කර තිබෙන්නේ එම කාරණය. ඒවාට ශාස්ත‍්‍රීය වශයෙන් පිළිතුරු දෙන්න බැරි අය තමයි මම නිසා මේ කළ ඇති උනයි කියලා කියලා ප‍්‍රකාශ කරන්නේ.

අද මුළු ලෝකයේම ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්තරා මතවාදයකට පැමිණ තිබෙනවා. අපේ වෙනස අපි දශක දෙකකට කලින් ලෝකය මුහුණ දෙන මේ ගැටලූව දැක්කා. එය තමයි අපේ පෙර ගමන් දැකීම. ඒකාලයේ අපට දොස් කියපු ඇතැම් බටහිර තානාපති කාර්යාල අංශ පවා අද අපත් සමග කරන සාකච්ඡාවලදී කියනවා ඕගොල්ලෝ මේක කලින්ම දැකලා කිව්වා. අපට මෙය තේරුම් ගන්න පමා උනා වැඩියි කියලා. ඒ නිසා මේ රටේ මුස්ලිම් ජනතාව සාතිශය බහුතරයක් මේ රටේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම මේ රට තුළ සාමයෙන් කටයුතු කරනවා. මේ රටේ මුස්ලිම් ප‍්‍රජාව විශේෂයෙන්ම 1947 දී ඒ අයට වෙන්වෙලා යාම සඳහා අවස්ථාවක් ඕනෙ නම් ගත හැකිව තිබුණා. නමුත් ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයට එකතු උනා. තව පිරිසක් ඊට පස්සේ බණ්ඩාරනායක මහත්මයාට එකතු උනා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් සමග එකතුවෙලා සාමකාමීව මේ ගමන මෙතනට ආවේ. අද මුස්ලිම් ප‍්‍රජාව ජනගහණය, ව්‍යපාරික, අධ්‍යාපනය, සමාජමය පැත්තෙන් යම් තැනකට පැමිණ තිබෙනවාද ඒ පැමිණ තිබුණේ සාමකාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමට 1947 දී එවකට සිටි දිගු දක්නා නුවනක් තිබූ මුස්ලිම් නායකයින්, දොස්තර කලීඞ්, ටී.බී. ඡයා වැනි අය කි‍්‍රයා කළ නිසයි. ඒ බව මගේ කෘතියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වෙනුවට අන්තවාදී අල්කයිඩා වැනි පිරිස් ඒ වෙලාවේ කි‍්‍රයා කළා නම් අදත් මුස්ලිම් ජනතාවට අත්වනුයේ ඉතාම ඛේදනීය ඉරණමක්. සිරියාවේ ඉරාකයේ අත් වූ ඉරණම මේ රටේමත් ඇතිවනවා.

ඒ අනුව අපි ස්තූතිවන්ත විය යුතුයි දුරදක්නා නුවණින් කටයුතු කළ මුස්ලිම් නායකයින් ගැන. ඒ අයගේ ආදර්ශයෙන් තමයි අපට අනාගතයේ ඉදිරිය ගොඩනගාගත හැකිවන්නේ මේ අන්තවාදී පිරිස් වලින් නොවේය කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා අපට එරෙහිව නගපු තවත් අසික්කිත චෝදනා ඒ පරීක්‍ෂණවලින් නිශ්ප‍්‍රභා උනා. ඉදිරියේදීත් අපට මේ වගේ අසික්කිත අසූචි ප‍්‍රහාර එල්ල කරයි නමුත් ඒවාට අපි ලොකුවට කලබල වෙන්නේ නැහැ. මොකද ගඳ ගහන සූකර දේශපාලනඥයින්ට පිළිතුරු දෙන්න කාලය නාස්ති කරන්නේවත්, වචන නාස්ති කරන්නේවත් නැහැ. මේ රටේ සාමයට ලැදි, රටට ආදරය කරන සෑම කෙනාම අප කළ ඓතිහාසික කාර්ය භාරය පිළිබඳවත්, ත‍්‍රස්තවාදය පිළිබඳවත්, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ගැනත් දන්න නිසා ඒ කිසි කෙනෙක් ඒ සම්බන්ධව කටයුතු කරන්නේ නැහැ. නමුත් මේවාට මේ ආකාරයට කාර්යක්‍ෂව කටයුතු කරලා මේ අදාල පිරිස් හෙළිදරව් කර දඬුවම් දීමට කටයුතු කිරීම ගැන අපි පොලීසියට ගෞරවය පිරිනමන ගමන්ම අපි ඉල්ලීමක් කරනවා වහාම මේවාට සම්බන්ධ පිරිස්වල නාමලේඛනය වහාම හෙළි දරව් කරන්න ඒ වගේම තවදුරටත් පරීක්‍ෂණ සිදු කර මේ කුපිත කිරීම්වලට මුල් වූ පිරිස් ඉහළ ගණයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මට්ටමේ පිරිස් හෙළිදරව් කරන්න කියන එකත් අපි මෙ අවස්ථාවේදී නැවතත් අවධාරණය කරනවා යැයි පැවසීය.

RSL

Related Posts