බැඳුම්කර කොල්ලයේ තවත් ගනුදෙනු කොමිසම හමුවට

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම එම සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ සිදුවීම්වලට සහ රාජ්‍ය බැංකුවක සිදුව ඇති ලංසු ඉදිරිපත් කිරීම්වලට අදාළව නියමිත සාක්‌ෂි විමසීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ අනුව අදාළ රාජ්‍ය බැංකුවේ සහ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කොමිසම හමුවට කැඳවනු ඇත.

මුලින්ම කොමිසම අවධානය යොමු කරනු ලැබුවේ අදාළ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ මහ බැංකුවේ සිදු වූ දේට අදාළ සාක්‌ෂි විභාග කිරීමටය. ඉන් පසු මෙම බැඳුම්කර නිකුතුවේ වෙනත් පැතිකඩවලට අදාළ සාක්‌ෂි මෙසේ විමසනු ඇතැයි පැවසේ.

එසේම ඉදිරියේ දී මහ බැංකුවේ සහ මෙම සිද්ධියට අදාළ සාක්‌ෂිකරුවන්ට අමතරව ස්‌වාධීන සාක්‌ෂිකරුවන් ද කොමිසම හමුවට කැඳවා සාක්‌ෂි ලබා ගැනීමට නියමිතය.

අලුත් අවුරුද්දට පෙර කොමිසමේ සාක්‌ෂි විභාගය ඉකුත් අප්‍රේල් 07 දින අවසන් වූ අතර කොමිසම යළිත් අප්‍රේල් 24 වැනිදා උදේ 10.00 ට රැස්‌වීමට නියමිතය. ඒ අනුව මුලින්ම මහ බැංකුවේ ඉතිරි වී ඇති සාක්‌ෂිකරුවන් කිහිප දෙනාගෙන් සාක්‌ෂි විමසීමෙන් අනතුරුව මෙසේ ස්‌වාධීන සාක්‌ෂිකරුවන් ඇතුළු වෙනත් සාක්‌ෂි විභාගයට ගැනෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

-දිවයින-