කාලෝගේ නික්ම යෑම..

Spread the love

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ (02දා) සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. 1933 මාර්තු 04 වැනිදා උපන් එතුමා මිය යන විට 86 වැනි වියේ පසු විය. කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී මූලික අධ්‍යාපනය ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙනි. ආචාර්යවරයකු හා මහාචාර්යවරයකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග‍්‍රන්ථ කර්තෘවරයකු මෙන්ම ප‍්‍රකට ගීත රචකයෙකි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු ද වූ එතුමා කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කළේය. එතුමා ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයකු මෙන්ම එහි දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකුද විය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීමට එරෙහිව කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහි සටනේ ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයකු ද විය. එමෙන්ම එතුමා ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ජපාන සංස්කෘතිය ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම සඳහා ඇගයීමක් වශයෙන් ”ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඞ් රේස් විත් නෙක් රිබන්’’ යන සම්මානය ජපාන රජය මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෙත 2018 වසරේදී පිරිනමනු ලැබීය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා 2010 වසරේදී ජපාන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංස්කෘතික අරමුදල් සම්මාන (බුන්කා සම්මාන) කමිටුවේ සම- සභාපති ලෙස පත්කරන ලදී. ඔහුගෙන් මෙම කමිටුව වෙත ලැබුණු නායකත්වය සහ දායකත්වය බුන්කා සම්මාන ශ‍්‍රී ලංකාව තුළ වඩාත් සුවිශේෂී තත්ත්වයකට ගෙන ඒමටත්, එම තත්ත්වය ස්ථායීව පවත්වා ගැනීමටත් වඩාත් ඉවහල් විය.

2017 වසරේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් එතුමා ඉවත් කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ යන මහත්වරුන් මහාචාර්යවරයාගේ නාවල නිවසේ දී සංදේශයක් භාරදෙමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ විට එතුමා කළ ඉල්ලීම වූයේ ‘අනේ මම වැඳලා කියන්නම්.. මං හින්දා වර්ජනය කරලා අසරණ ලෙඞ්ඩු අමාරුවේ දාන්න එපා… මං හින්දා වර්ජනය කරන්න එපා’ යන්නයි.

ඊයේ දහවල් අභාවප‍්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ‍්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි. තමා මියගිය පසු පැය 06 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදෙන ලෙස එතුමා අවසන් කැමැත්ත සටහන් කර ඇති අතර ඒ අනුව කටයුතු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.

-චතුර පමුණුව-

RSL

Related Posts