අපිට ලෝක කුසලාන දිනාගෙන එන්න පුළුවන් – ක්‍රිකට් නායක දිමුත් කියයි

Spread the love

ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට  සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 ) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

 කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා  ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ‘‘ක‍්‍රීඩකයන් ඔක්කොම බලාපොරොත්තුවෙන් ඉන්නවා එංගලන්තයට ගොස් දක්ෂතා දක්වලා ලෝක කුසලාන දිනා ගන්න. කණ්ඩායමේ ඔක්කොම නවකයන් කියලා කියන්න බැහැ. නවකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. අපිට සැලසුමක් තියෙනවා. නමුත් කණ්ඩායමට අවශ්‍ය සැලසුම සකස් කරන්නෙ එංගලන්තයට ගිහිල්ලා.’

 අභියෝග තිබෙන තරමට එ්වා ජය ගන්න පහසු බවද දිමුත් සඳහන් කරයි. ‘‘ ඕනෑම කෙනෙකුට යම් කිසි දෙයක් කරන්න අභියෝගයක් තියෙන්න ඕන. එහෙම අභියෝගයක් තිබ්බහම එ්ක ජය ගන්න ලේසියි. දකුණු අප‍්‍රිකාවේදීත් මම එ් අභියෝගය ජය ගත්තා. මට කණ්ඩායමත් එක්ක කරන්න පුළුවන් දේවල් එක්ක ලෝක කුසලාන ලංකාවට ගේන්න තමයි බලාපොරොත්තුව.’’ 

 තමා වසර හතරක් එක්දින පිටියේ නොසිටියත් කිසිම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුගෙන් ලැබෙන සහයෝගයේ අඩුවක් නොමැති බවත් ඔවුන් සමග ඉතාමත් සුහදව ගනු දෙනු කරන බවත් ශ‍්‍රී ලංකා නායකයා පවසයි.

‘දකුණු අප‍්‍රිකාවේ මට ලැබුණ සංචිතයට වැඩිය වෙනස් සංචිතයක් තමයි ඉන්නෙ. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් සමග මම අවුරුදු හතරක් එක්දින ගැහුව්වෙ නැහැ කියලා වෙනසක් නැහැ. හැම තිස්සෙම මෙහෙම කරමු අරම කරමු කියලා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සියලූම දෙනා සහය දෙනවා. මාලිංග අයියත් මට කතා කළා නායකත්වය ලැබුණට පස්සෙ. මම මාලිංග අයියගෙන් මට අවශ්‍යදේත් මගෙන් ඔහුට අවශ්‍යදේත් කතා කළා. මම පාසල් යන කාලයේ ඉඳලා ඇන්ජිත් (ඇන්ජලෝ මැතිව්ස්) එක්ක තමයි ක‍්‍රීඩා කළේ. කණ්ඩායමේ අනිත් අයට වඩා මමයි ඇන්ජියි මිතුරුයි. ඔහු නායකයකු විදිහට මට ලොකු සහයක් දෙනවා.’’

කණ්ඩායම වැටී ඇති අවස්ථාවක මෙරට ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන්ගේ සහය තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය බවත් එම ශක්තියෙන් කණ්ඩායමට යළිත් නැගිටීමට හැකි බවත් පවසන දිමුත් සිව් වසරකට වරක් ලැබී ඇති මේ අවස්ථාවේදී ලෝක ශූරතාව දිනා ගැනීමට උපරිම වෙහෙසෙන බවද පවසයි.

 ‘‘දැනට මම ආරම්භක පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තුව. නමුත් අවශ්‍ය වෙලාවට පල්ලෙහා බැට් කරන්නත් මට පුළුවන්. මේක ලෝක කුසලානයක්. වසර හතරකට වරක් ලැබෙන අවස්ථාවක්. අපි අයි.සී.සී. තරගාවලිවල ලොකු දේවල් කරපු රටක්. ලොකු වෙනසක් කරන්න පුළුවන් අලූත් කණ්ඩායමක් ඉන්නවා. හැමෝම තරගාවලිය දිනන්න උනන්දුවෙන් ඉන්නවා. වැටිලා ඉන්න වෙලාවක ලංකාවේ සෑම පේ‍්‍රක්ෂකයෙක්ම අපිත් එක්ක ඉදලා සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.’’

 ස්කොට්ලන්තය සමග ශ‍්‍රී ලංකාව ලබන 18 වැනිදා සහ 21 වැනිදා තරග දෙකකට සහභාගි වන අතර පසුව ලෝක කුසලානට සහභාගි වන දකුණු අප‍්‍රිකාව සහ ඔස්ටේ‍්‍රලියාව සමගත් පුහුණු තරගවලට සහභාගි වීමට නියමිතය.

 12 වැනි ලෝක කුසලාන ආරම්භ කරමින් සමාරම්භක තරගයකට ලබන 30 වැනිදා සත්කාරක එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව ලන්ඩන් නුවරදී තරග වදිනු ලබයි. ලෝක කුසලානට සහභාගි වන සෑම කණ්ඩායමක්ම ප‍්‍රතිවාදීන් සමග තරග වදින අතර ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි 1 වැනිදා නවසීලන්තය සමග පැවැත්වේ. එම තරගය කාඩිෆ් නුවරදී පැවැත්වේ.

 ලෝක කුසලාන ආරම්භයට පෙර සෑම කණ්ඩායමක්ම පෙරහුරු තරග දෙකට සහභාගි වේ. ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු පෙරහුරු තරගය ලබන 24 වැනිදා දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන අතර අනතුරුව දෙවැනි පෙරහුරු තරගය ලබන 27 වැනිදා ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වේ.

 ශ‍්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය

 දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, නුවන් ප‍්‍රදීප්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන සහ ජෙෆර් වැන්ඩසේ

RSL

Related Posts