මත්ද්‍රව්‍ය හා කැබිනට් ඇමතිවරු අතර ඇති සම්බන්ධතාව විශ්වවිද්‍යාල ආචාර්යයවරු ජනපතිට පහදයි

Spread the love

රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ආශීර්වාදය, අනුදැනුම, රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබී ඇති බව ජනතාව අතර විවිධ තොරතුරු සංසරණය වෙමින් ඇති බවත්, පසුගිය සතියේ වෙළද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට අයත් වන සතොස ආයතනයේ වාහනයක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් හමු වීම හා ඊයේ දිනයේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් සමග හසුවීම ජනතාව තුල මතුවෙමින් ඇති සැක සංකා සනාථ කරන බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්යය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදන මෙසේය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
මත්ද්‍රව්‍ය ජාවාරමට කැබිනට් ඇමතිවරුන්ගේ සම්බන්ධය

පෙරේදා දින පැවති උත්සවයක දී රටේ පාසැල් ළමුන් මත්ද්‍රව්‍ය කරා යොමුවීමේ ඉහළ ප්‍රවනතාවක් ඇතැයි ද ඒ වැළක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ද ඔබතුමා ප්‍රකාශ කරනු අපි ජනමාධ්‍ය මගින් දුටුවෙමු. ඔබතුමා මේ පිලිබඳ දක්වන උනන්දුව සහ අවධානය අපගේ ඇගැයීමට ලක්වේ.
රටේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අපගේ නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.

1) අප සංගමයේ සාමාජික ආචාර්යභවතුන් අප දැනුම්වත් කර ඇති පරිදි මෑතක සිට රට පුරා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කසිප්පු, ගංජා, හෂීශ්, හෙරොයින් සහ තවත් විවිධ නම්වලින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය සුලභ වෙමින් ඇත.

2) මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන හිතා මතාම නොසැලිකිලිමත් ලෙස කටයුතු කරන අතර වරදකරුවන් හසු වුවද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන වගක් පෙනී යයි.

3) රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ආශීර්වාදය, අනුදැනුම, රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබී ඇති බව ජනතාව අතර විවිධ තොරතුරු සංසරණය වෙමින් ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම සීනි ආනයනය කළ බහාලුම්වල මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් හමු වුවද ඒවා ගෙන ආ අයෙක්, වරදකරුවෙක් වූ අයෙක් හෝ අඩුම ගන්නේ එම මත්ද්‍රව්‍යවලට වූ දෙයක් හෝ දැන ගැනීමට නැත.

4) පසුගිය සතියේ වෙළද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට අයත් වන සතොස ආයතනයේ වාහනයක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් හමු විය. අද දිනයේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් සමග හසුවී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර ඇත. මෙවැනි සිදුවීම් ජනතාව තුල මතුවෙමින් ඇති සැක සංකා සනාථ කරයි.

යහපාලන ප්‍රතිපත්ති, මූලධර්ම අනුව රාජ්‍ය පාලනය කරන ඔබතුමාටත් රජයටත් මේ සිදුවීම් අගතිගාමී ලෙස බලපායි. තව ද මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්තවීම මුළුමහත් ජාතියක, ජන සමාජයක අනාගතය විනාශ කර දමයි. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය අප්‍රමාදීව යොමු කර තරාතිරම නොබලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මෙන්ම ඔවුන්ට උල්පන්දම් දෙන සියලු දෙනාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය
අත්සන් කළේ,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන
07.08.2017

Loading...

RSL

Related Posts