කුප්‍රකට බැඳුම්කර කොල්ලය සිදුකළ සමාගම ජනපති කොමිසමට හොරෙන් පැනලා

Spread the love

භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සිදුකළ ගනුදෙනු සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට රජයේ නීතිඥවරුන් ඊයේ (07) ලංකා බැංකුවේ නිලධාරියකුගෙන් සාක්‌ෂි විභාග කරමින් සිටියදී අවසරයකින් තොරව කොමිසමට පැමිණ නරඹන්නන් සඳහා වූ අසුනක වාඩි වී සාක්‌ෂි විභාගයට සවන් දෙමින් සිටි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා වහාම කොමිෂන් ශාලාවෙන් ඉවත් කිරීමට කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා නියෝග කළේය.

කොමිසමේ කිසිදු පූර්ව අවසරයකින් තොරව පැමිණීම ගැන ප්‍රශ්න කළ කොමිසමේ සභාපති විනිසුරුවරයා කසුන් පලිසේන මහතාව කොමිසමට ගෙන්වා ගෙන තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාට දැඩිව අවවාද කළ අතර නිහාල් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව අයෑද සිටියේය.

තමා සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ගනුදෙනු ගැන සිදුකෙරෙන සාක්‌ෂි විභාගයට කොමිසමේ අවසරයකින් තොරව පැමිණ සවන් දී සිටීම ගැන බලවත් විරෝධය පළ කර සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේ කොමිසම විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාට මේ සම්බන්ධයෙන් දැඩිව අවවාද කළ යුතු බවයි.

මේ අවස්‌ථාවේ නැඟී සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසමට කියා සිටියේ ඔහුට එන්නට කීවේ තමා බවයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් එම ගනුදෙනුවලට සම්බන්ධ වී ඇති එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ නම කොමිසම හමුවේ කීප වතාවක්‌ම සඳහන් වූ බවත් එවැනි පුද්ගලයෙකුට කොමිසමට පැමිණ සාක්‌ෂිවලට සවන් දීමට අවස්‌ථාව සලස්‌වාදීම බලවත් වරදක්‌ බවත් කොමිසමේ සභාපතිවරයා ඒ අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අමතමින් කීවේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට කොමිසමට පැමිණ වාඩි වී සිටින ලෙස තමා ඔහුට දැනුම් දුන්නේ වෘත්තීය අවශ්‍යතාවන් සඳහා බවත් පැවසූ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එය වරදක්‌ නම් ඉන් කොමිසම අපහසුතාවට පත් වී නම් තමා කොමිසමට බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවද කීවේය.

කොමිසමට සහාය වන නීතිපතිගේ නීතිඥ කණ්‌ඩායමේ නායක අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ මෙම සිද්ධිය නිසා වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නයක්‌ද මතු වන බවයි. ඒ නිසා සිදු වී ඇති වරදට නිල වශයෙන් කනගාටුව ප්‍රකාශ කර කොමිසමෙන් සාමාව අයෑදිය යුතු යයි හෙතෙම කියා සිටියේය.

තමා සමාව ගත් බව මෙහිදී නිහාල් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය.

කසුන් පලිසේන මහතා කොමිසමෙන් ඉවත් කිරීමට නියෝග කරමින් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අයදුම්පතක්‌ ඉදිරිපත් කිරීමට නීතිඥවරයාට අවස්‌ථාව තිබෙන බවයි. ඒ අනුව කසුන් පලිසේන මහතා කොමිසන් සභාවෙන් ඉවත් කර නැවත සාක්‌ෂ විභාගය අරඹන ලදී.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා – ස්‌වාමීනි ඇති වූ සිද්ධියට මම කනගාටුව ප්‍රකාශ කළා.

කොමිසමේ සභාපති – පර්පෙචුවල් සමාගමේ එක්‌ නිලධාරියකුට කොමිසමට ඇවිත් ඉන්න අපි අවසර දීලයි තියෙන්නේ. ඒ අවස්‌ථාව දෙදෙනකුට දෙන්න බැහැ. අවශ්‍ය වූවා නම් ඒ සඳහා කොමිසමෙන් ලිතව ඉල්ලීමක්‌ කරන්න තිබුණා. එවිට අපි ඒ ගැන සලකා බලා තීරණයක්‌ ගන්නවා. එසේ නැතිව හොර රහසේ ඇවිත් මෙතන වාඩි වී සාක්‌ෂිවලට සවන් දීගෙන සිටීම වැරදියි. අපි කවුරුත් ඔහුව හඳුනන්නේ නැහැ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාත්a මෙතන ඇවිත් වාඩි වී සිටිනවා. අපි කවුරුත් ඔහු හඳුනනවා. ඒ නිසා ප්‍රශ්නයක්‌ නැහැ. ඔහුට ඒ සඳහා කොමිසමේ අවසරය දීලා තියෙනවා.

අනිත් කාරණාව පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන විධායක බව කියන මෙම පුද්ගලයා මේ කොමිසම හමුවේ සාක්‌ෂි දීමට නියමිත සාක්‌ෂිකරුවෙක්‌. ඉදිරියට සාක්‌ෂියට කැඳවන පුද්ගලයෙක්‌. ඔහු මෙහි පැමිණ ප්‍රකාශ වෙන කරුණු අනුව ඔහුට කොමිසම හමුවේ ඔහුගේ සාක්‌ෂිය සැලසුම් කර ගන්න පුළුවන්. ඒ නිසා ඔහු කොමිසමට පැමිණ වාඩි වී සිටීම කෙසේවත් අනුමත කරන්න බැහැ.

ඊයේ මෙම ප්‍රශ්නය මතු වූයේ ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ ප්‍රධාන අලෙවිකරු වූ ඡේ. ඩී. කේ. ධර්මපාල මහතාගෙන් සාක්‌ෂි විමසමින් සිටියදීය.

-දිවයින-

RSL

Related Posts