මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි

Spread the love

මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය.

හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟය.

ජනාධිපති කොමිසම ඊයේ පෙරවරු 10 ට රැස්‌වූ අතර මුලින්ම නැගී සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සාක්‍ෂිකරුවන් මාර්ගයෙන් කොමිසමට ඉදිරිපත් කරන මහ බැංකුවේ ලියවිලිවල පිටපත් තමාට ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා එම ඉල්ලීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ කොමිසමට ඉදිරිපත් කරන මහ බැංකුවේ ලියවිලි අතර අතිශයින් රහස්‌ ලියවිලි තිබෙන බැවින් මහ බැංකුවේ අවසරයක්‌ නැතිව ඒවා ලබාදිය නොහැකි බවයි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉක්‌බිතිව අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට විත් නිරීක්‍ෂකයකු ලෙස අසුන් ගැනීමට අවසර දෙන මෙන් ද ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය.

තමා මෙම ඉල්ලීම කරන්නේ කොමිසම් සභා පනතේ 16 (1) වගන්තිය යටතේ බවත් කොමිසමේ කෙරෙන කටයුතු නැරඹීමට ඕනෑම කෙනෙකුට අදාළ රෙගුලාසිය යටතේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ඉල්ලීමක්‌ කළහොත් ඊට අවසරය ලැබිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා එම ඉල්ලීමට විරුද්ධත්වය පළ කරමින් කියා සිටියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොමිසම හමුවට විත් සාක්‍ෂි දෙන මේ දවස්‌වල හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා කොමිසමේ රැඳී සිටීම සුදුසු නොවන බවයි. මෙහි පැවැත්වෙන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිව සිටි කාලයේ එහි සිදුකෙරුණු ඔහු සම්බන්ධ මහා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම් පිළිබඳව සත්‍ය කරුණු හෙළිකර ගැනීම සඳහා වූ පරීක්‍ෂණයක්‌ බව ද එනිසා මෙතැන සිටීම කොහෙත්ම අනුමත කළ හැකි ක්‍රියාවක්‌ නොවන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

කොමිසම හමුවේ සාක්‍ෂි දීමට නියමිත හෝ එසේ නොමැති මහ බැංකුවේ කිසිදු නිලධාරියකු මෙතනට විත් වාඩි වී බලාගෙන නොසිටින බවත් වත්මන් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණි දිනයේ ඔහු සමඟ පැමිණි මහ බැංකුවේ උසස්‌ නිලධාරීන් කීපදෙනකුට කොමිසන් සභා ශාලාවේ රැඳී සිටීමට ඉඩ නොලැබුණු බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්‌ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ලිවේරා මහතා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ඇතිවිය.

මෙතැන නිකං හයියෙන් බුරන්න එපා යෑයි සිය අසුනෙන් නැගී සිට රොමේෂ් ද සිල්වා වේගවත් ස්‌වරයෙන් කියා සිටි විට දප්පුල ද ලිවේරා මහතා ඊටත් වඩා සැරෙන් ප්‍රතිචාර දැක්‌වූවේ ‘මම බුරනවා නොවේ හපා කනවා’ යෑයි ප්‍රකාශ කරමිනි.

කුඩා ළමුන් මෙන් මෙතන හැසිරෙන්න එපා යෑයි කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දෙදෙනාටම පවසමින් එම මත ගැටුම සමථයකට පත් කළේය.

අනතුරුව විනිසුරු චිත්‍රසිරි මහතා සඳහන් කළේ අර්ජුන මහේන්ද්‍රන් කොමිසමට පැමිණ නිරීක්‍ෂකයකු ලෙස අසුන් ගැනීමට නීතිඥවරයකු මගින් ඉල්ලීමක්‌ කර ඇති බවත් අදාළ පනතේ රෙගුලාසිවලට අනුව එම ඉල්ලීමට ඉඩ දෙන බවත්ය. මහේන්ද්‍රන් මහතා දැන් මහ බැංකුවේ නිලධාරියෙක්‌ නොව පිටස්‌තර පුද්ගලයකු බව ද විනිසුරු චිත්‍රසිරි මහතා කීය.

මහ බැංකුවේ නිලධාරියකුට වුවද සාක්‍ෂි විභාග කෙරෙන කොමිසමට පැමිණ අසුන් ගෙන සිටීමට ඉල්ලීමක්‌ කළහොත් ඒ ගැන ද සලකා බලන බව මෙතෙක්‌ කිසිවකු ගෙන් එවැනි ඉල්ලීමක්‌ ඉදිරිපත් වී නැති බව ද කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

RSL

Related Posts