ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුඩු සිටුවරයෙකු පේසාලෙන් අල්ලයි

Spread the love

පාතාලය යළි හිස එසවීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසියද කාර්යබහුල විය. පාතාල කල්ලි අතර ගැවසෙන නීති විරෝධී ගිනි අවි සොයා මෙහෙයුම් අරඹන ලෙසට පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත නියෝග ලැබිණි.

කොළඹ පාතාලයේ මර්මස්ථානයක් ලෙස ප්‍රකට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් සහ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත් වූහ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමක් වන මෙම නිලධාරීහු සිවිල් ඇඳුමින් සැරැසී පාගමනින්ම නාගලගම්වීදිය දෙසට ගියහ.
පොලිස් ස්ථානය පසුකර මීටර් 750ක් පමණ යනවිට උප පොලිස් පරීක්ෂක එරන්ද ප්‍රභාෂ් ලක්සිරි මහතාට පාරේ පසෙකට වී සිටි තැනැත්තකු පිළිබඳ සැකයක් මතු විණි.

ඔහුගේ කරේ කළු පැහැති බෑගයක්ද විය. ත්‍රිරෝද රථවලට අත දමමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි තැනැත්තා අසලට පොලිස් කණ්ඩායම සෙමින් ළං වූහ. පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරැසී සිටි නිසා ළඟට විත් කතා කරන තෙක්ම සිදු වන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව එම තැනැත්තා ත්‍රිරෝද රථවලට අතදමමින් සිටියේය.

“අපි පොලිසියෙන්” උප පොලිස් පරීක්ෂකවරයා සිය හැඳුනුම්පත ඔහුට පෙන්වීය. එම ස්වරයත් සමඟ තිගැස්සුණු ඔහුට හීන්දාදිය දමනවාත් සමඟ උප පොලිස් පරීක්ෂක එරන්ද ප්‍රභාෂ් ලක්සිරි පොලිස් කොස්තාපල්වරුන් වන ධර්මසිරි (83766), කුමාර (84832), යන දෙදෙනාගේද සහාය ඇතිව අදාළ තැනැත්තාගේ බෑගය පරීක්ෂාවට ලක් කළහ.

සුදු සහ නිල් පැහැති ගම් ටේප් වලින් ඔතා තිබූ එම බෑගයේ සඟවා තිබූ පාර්සල් හයක් කෙරෙහි පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු විය.
උප පොලිස් පරීක්ෂකවරයා ඉන් එක් පාර්සලයක් විවෘත කළේය. එහි වූයේ සුදු පැහැති කුඩු වර්ගයකි. එය හෙරොයින් බවට වටහා ගත් පොලිස් නිලධාරීහු වහාම එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත රැගෙන පැමිණියහ.

අදාළ පාර්සල් හයේ බහා තිබුණු හෙරොයින් කිලෝ 12 ග්‍රෑම් 430ක් සොයා ගැනුණි. එහි වටිනාකම රුපියල් කෝටි 20කට අධික බවද පොලිසිය කියා සිටී. ඊට අමතරව එම බෑගයේම හෙරොයින් සමඟ මිශ්‍ර කිරීමට තිබූ සුදු පැහැති කුඩු කිලෝ එකක්ද සොයා ගැනුණි.

හෙරොයින් තොගය සම්බන්ධයෙන් පණිවුඩය ලද වහාම ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් ශාන්ත මහතා ප්‍රමුඛ නිලධාරීහු අදාළ සැකකරුගෙන් හෙරොයින් තොගය ලබා දෙන්නේ කාටදැයි ප්‍රශ්න කළහ. සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි තැනැත්තකු කළු පැහැති බෑගය තමාට දුන් බවත් එය තොටළඟ මැදපාර ප්‍රදේශයේ පදිංචි ජපන් චූටි නමැත්තාගේ බිරිය වූ අචලා නමැත්තියට ලබා දීමට යෑමට සිටි බවද පොලිසිය හමුවේ සැකකරු පාපෝච්චාරණය කළේය.

“තොටළඟ ජපන් චූටි” යන නාමයෙන් ප්‍රකට එම තැනැත්තා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහුගේ බිරිය ඊට සහාය ලබා දෙන්නියකි.
මෙම යුවළ මීට පෙරද අවස්ථා ගණනකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධීන්වලට මහ උළු ගෙදරද කලක් මොවුන් දෙදෙනා නැවැතී සිට ඇත.

හෙරොයින් ප්‍රවාහනයට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ පාපෝච්චාරණයට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම තොටළඟ මැද පාරේ පිහිටි ජපන් චූටි නමැත්තාගේ නිවෙස වැටලීය.

එය සුපිරි පැලැන්තියේ තෙමහල් නිවෙසක් විය. නිවෙස වටේටම සී. සී. ටී. වී. කැමරාය. සුඛෝපභෝගී භාණ්ඩවලින්ද පිරි එම නිවෙසට පොලිස් කණ්ඩායම යන විටත් ජපන් චූටි සහ ඔහුගේ බිරිය එම නිවෙසින් පලා ගොස් තිබිණි. සුපිරි නිවෙසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළ පොලිස් කණ්ඩායම එම නිවෙසේ තිබී රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සහ රත්රන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත්හ.

“වාහනයකින් මඟට ඇවිත් මට බෑග් එකක් දෙනවා. මට තියෙන්නේ ඒ බෑග් එක ජපන් චූටිට දෙන්න. එයාගේ බිරිය තමයි බෑග් එක ගන්නේ මගෙන්. ඒකට මට රුපියල් 25,000ක් දෙනවා. තව කුඩු ටිකකුත් දෙනවා.” අත්අඩංගුවට ගත් සැකකාර මොහොමඩ් අන්වර් මොහොමඩ් සියාම් සියලු දෑ පොලිසිය හමුවේ පාපෝච්චාරණය කළේය.

හෙරොයින් පානයට ඇබ්බැහි වූ ඔහු 38 හැවිරිදි වියෙහි පසුවන්නෙක්. තිදරු පියකු වූ ඔහු ග්‍රෑන්ඩ්පාස්, මහල් නිවෙසේ පදිංචිකරුවෙකි.
මීට පෙරද ඔහු මෙලෙස අවස්ථා දෙකකදී බෑග් දෙකක් ජපන් චූටිගේ බිරියට ලබාදී රුපියල් 50,000ක මුදලක් උපයා ගත් බවද හෙළිදරව් වී ඇත. උපයා ගත් එම මුදල් හෙරොයින් පානයට ඔහු වියදම් කර ඇත.

හෙරොයින් ජාවාරම මහ මුහුද නම් එහි හාල් මැස්සකු ලෙස මෙම සැකකරු අපට හැඳින්විය හැකිය.

පොලිස්පති පූජිත් ජයසුන්දර, බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ උතුර කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි රසල් ද සොයිසා යන මහත්වරුන්ගේ අධික්ෂණය හා උපදෙස් මත ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් ශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම මූලික විමර්ශන සිදුකළහ. ඉන් අනතුරුව මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම විමර්ශණ සිදු කළහ.

ඉකුත් 10 වැනිදා වන විට මෙම ජාවාරමේ ප්‍රධාන මහ මොළකරු වන චන්ද්‍රා බොස් නමැත්තා සහ ඔහුගේ ගෝලබාලයෝ තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ සුපිරි නිවෙසක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට වවුනියාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහය ලබා දුණි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට හෙරොයින් තොගය රැගෙන ආ මෝටර් රථය සීසීටීවී දර්ශන උපයොගී කර ගනිමින් ඊට පෙර මීගමුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණි. එය කුලී පදනම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම මෝටර් රථය හරහා කළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එම රථය අත්අඩංගුවට ගැනීම සිදු විය.
ඉන්දියාව හා මෙරට අතර බෝට්ටු මඟින් සිදුවන මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා වන චන්ද්‍රා බොස් නමැත්තා කෝටිපතියකු සහ සුපිරි ජීවිතයක් ගත කරන තැනැත්තෙකි.

පේසාල ප්‍රදේශයේ ජීවත් වන ඔහුට ගම්මුන් ප්‍රභූවරයකුට මෙන් සලකන අතර කලක් මීගමුව බන්ධනාගාරයේ සිට නිදහස්ව පැමිණි ඔහුට පේසාල නගරයේදී රතිඤ්ඤා පත්තු කර මල් මාලා දමා ගම්මුන් පිළිගත් පුවතක්ද වාර්තා වේ.

සුපිරි මන්දිර තුනක හිමිකරුවකු වන ඔහුට ඉන්දියාවේ ඉස්සෝ කොටු කිහිපයක්ද ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමේ හාල්මැස්සන් පමණක් නොව තෝරු මෝරු වැඩි කලක් නොයවා නීතියේ රැහැනට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු විමර්ශනයට සහභාගි වූ සියලු පොලිස් අංශ හා නිලධාරීන්ට ලක්වාසී ජනතාවගේ ගෞරවය මෙලෙස හිමි විය යුතුය.

-මව්බිම-

RSL

Related Posts