ඩීල් වෙනුවට ජනතා වරමෙන් බලයට ඒම මෙවර අරමුණ බව බැසිල් කියයි

Spread the love

මෙවර ඩීල් දමමින් ඔළුගෙඩි මාරුකර බලය ගන්නවාට වඩා ජනතා වරමකින් බලයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම අරමුණ බව බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

පළාත් පාලන ආයතන, පළාත් සභා මහා මැතිවරණය යන ඕනෑම මැතිවරණයකදී ජනතාවගෙන් වරමක්‌ ලබා ගැනීම අපේ එකම බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයට තරග කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වයසින් අඩු දේශපාලන පක්‍ෂයක්‌ වුණාට මේ වන විට දිවයින පුරාම සංවිධානය කර තිබෙනවා. තරුණ කාන්තා… වෘත්තීය සමිති, ආගමික යන සෑම අංශයකින්ම ශක්‌තිමත්ව සිටිනවා.

විශේෂයෙන්ම මෙම පළාත් පාලන මැතිවරණ ජනමත විමසුමක්‌ ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ, ආර්ථිකය කඩා වැටීම, ජීවන වියදම ඉහළ යාම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, දේශීය නිෂ්පාදන කඩා වැටීම, ග්‍රාමීය ඇතුළු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇනහිටීම, තරුණ තරුණියන්ට රැකියා උත්පාදන අවස්‌ථා ඇති නොකිරීම, ව්‍යවස්‌ථාව යන කරුණු මුල්කරගෙන ආණ්‌ඩුවට එරෙහිව මෙම මැතිවරණය මෙහෙයවනවා.

නව පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සැලැස්‌මක්‌ යටතේ මැතිවරණයට මුහුණ දෙනවා. අපේ පක්‍ෂයේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට පොදුජන පෙරමුණ සමග සිටින හිටපු පළාත් පාලන නියෝජිතයන්ට අමතරව තරුණ කාන්තා උගත් බුද්ධිමත්, සුදුස්‌සන් තෝරා ගැනීමට තීරණය කර තිබෙනවා. කාන්තා නියෝජනයට අමතරව අපේ පක්‍ෂය තරුණයන් සියයට 25 කට අවස්‌ථාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

කාලෙකට පසුවයි කොට්‌ඨාස ක්‍රමය මුල්කරගෙන ඡන්දය පැවැත්වෙන්නේ. මනාප ක්‍රමය නැති කිරීමට මුල්වුණේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවයි. දිනේෂ් ගුණවර්ධන විසින් සමානුපාතික ක්‍රමයත් ආරක්‍ෂා කරමින් ගමට මන්ත්‍රීවරයකු බිහිකරන කොට්‌ඨාස ක්‍රමය ඇති කරන්නත්, මනාප ක්‍රමය නැති කරන්නත් නව ක්‍රමයක්‌ හඳුන්වා දුන්නා.

කොහොම වුණත් බැසිල් ගේ ක්‍රමය කියල බැණ බැණ ඒ ක්‍රමයම වෙනත් විධියකට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්‌ඩුව හදපු ඡන්ද ක්‍රමයේ අඩුපාඩු තිබෙනවා. නමුත් අඩුපාඩුවලට වඩා ජනතාවට අවශ්‍ය සර්වජන ඡන්ද බලය. එනිසා අඩුපාඩු ගැන නොකියා මේ ඡන්දය ලබා ගැනීමට අප කටයුතු කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින දේශපාලන පක්‍ෂ ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ වෙනම සන්ධානයකින් තරග කරනවා. තවත් දේශපාලන පක්‍ෂ ගණනක්‌ සමග සාකච්ඡා කරමින් සිටිනවා. අප සමග එක්‌ව තරග කිරීමට කැමති දේශපාලන පක්‍ෂවලටත් ආරාධනා කරනවා.

මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, නැගෙනහිර ටී.එන්.වී.පී. ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ එක්‌ව සිටිනවා. තවත් පක්‍ෂ ගණනාවක්‌ සමග සාකච්ඡා කරගෙන යනවා.

උතුරේ දෙමළ සන්ධානයට විරුද්ධව සිටින පක්‍ෂ සමග සාකච්ඡා කර හැකිනම් එක්‌කර ගැනීමට කටයුතු කරනවා. නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් වැඩිම පිරිසක්‌ එක්‌ව සිsටිනවා. ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂයෙන්, ජනතා විමුක්‌ති පෙරමුණෙන් හා තවත් දේශපාලනය නොකරපු පිsරිස්‌ද අප පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන තිබෙනවා. ගම් මට්‌ටමින් සියයට 85 ක්‌, 90 ක්‌ අපේ පක්‍ෂයට බැඳී සිටිනවා. සමහර ගම්වල සියයට 100 ක්‌. ශ්‍රීලනිපයේ අය අපේ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ප්‍රශ්නය- ඔබට විශ්වාසද පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා ගත ජයග්‍රහණයක්‌ කරනවා කියලා.

පිළිතුර- පසුගිය පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම 154 ක අපි එදත් ජයග්‍රහණය කළා. ඒ ප්‍රමාණයට අමතරව තවත් පළාත් පාලන 60 ක්‌ ජයග්‍රහණය කිරීමට හැකි බවට අපි විශ්වාස කරනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 200 කට වැඩි ප්‍රමාණයක්‌ ජයග්‍රහණය කිරීම අපේ ඉලක්‌කයයි.

නටන්න බැරි අය පොළොව ඇදයි කියනවා වගේ අපි කියන්න සූදානම් නැහැ. ඕනෑම “පිච්” එකක අපි සෙල්ලම් කරන්න සූදානම්. බැට්‌ එක වෙනුවට පොල්පිත්තක්‌ දුන්නත් අපි ගහනවා. කඩුලු තුන ගලවා එක කඩුල්ලට බෝල් කර අවුට්‌ කරන්න කිව්වත් අපි අවුට්‌ කරන්න සූදානම්. ඕනෑම ක්‍රමයකට අපි ඡන්දයට සූදානම්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ නායකයෙක්‌ නිසා එතුමාට අපේ උපදෙස්‌ අවශ්‍ය නැහැ. නමුත් එතුමා පිටුපස අපි සිටියා.

අපේ ආණ්‌ඩුවක්‌ වෛරී ආණ්‌ඩුවක්‌ නෙවෙයි. අපි බලයට එන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. නමුත් ඉන් අදහස්‌ වෙන්නේනෑ වැරදි කරන අයට නිදහස දෙනවා කියලා. වරදක්‌ කර ඇතොත් ඒවට උත්තර දෙන්න වෙයි.

RSL

Related Posts