මහින්ද කළ පෙර පව් යළි මහින්ද වෙත කැරකෙන ලකුණු

Spread the love

mahinda-hindanaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජුවම සම්බන්ධකම් කියන ‘හෙල්පින් හම්බන්තොට’ දැවැන්ත මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, මොහාන් පීරිස් මහත්වරුන් ඇතුළු අගවිනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතිඥවරුන් සිදු කළ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙසද මෙම පෙත්සමින් ඉල්ලා තිබේ.

‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ සිටම අධිකරණය හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාති වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානිවීම් ඇරඹූ බවත්, සේම ඉදිරිපත් වූ නඩු විභාගයේදී විවිධ පාර්ශ්වයන්ට වාසි සහගත ලෙස තීන්දු ලබාදෙමින් අධිකරණයේ ස්වාධීනත්වය නැති කර ඇති බවත් සඳහන් කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම රීට් පෙත්සම ගොනු කර තිබේ. එසේම විශාල පරිමාණ වංචා සහ දූෂණ සිදුවීම්වූ බව ද පෙත්සම්කරු දක්වයි.

මෙම සිද්ධීන් පිළිබඳව අල්ලස් හෝ වංචා විමර්ශන කොමිසමට විටින් විට පැමිණිලි කළ නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට එම කොමිසම කටයුතු නොකළ බව පෙත්සම්කරු පවසයි.

එබැවින් එම පැමිණිලි සම්බන්ධයෙන් ස්වාධීන සහ විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, එහි සභාපති ටී.බී. වීරසූරිය, එහි කොමසාරිස්වරුන් වන ඩබ්ලිව්. ලාල් රංජිත් සිල්වා, සී.එන්. ගුරුගේ, එහි අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ, අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, හිටපු අගවිනිසුරුවරුන් වන ශිරාණි බණ්ඩාරනායක, මොහාන් පීරිස්, සරත් එන් සිල්වා, අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ, අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ් අලගරත්නම් සහ ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කොමසාරිස්වරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

RSL

Related Posts