අර්ජුන අමාත්‍යංශයේ වැඩ පෙන්වයි

Spread the love

අවස්ථා ගණනාවකදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සහ වෘත්තීය සමිති අතර නිරන්ත ගැටුම් වාර්තා විය. අර්ජුන රණතුංග ඉවත් කරන ලෙස පහේ කල්ලියේ සැලසුම් මත සහ එජාප වෘත්තිය විසින් වැඩ වර්ජන සහ කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදුකරන ලදී. එහෙත් ඒ සියල්ල පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයේ නව වාර්තාවක් තැබීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා වරයා අධිකාරිය ඉතිහාස ගත වර්තාවක් තබමින් සියලු සේවක වැටුප් වැඩිකිරීම්, දීමනා ලබාදෙමින් ඉකුත් වසරේ දී රුපියල් මිලියන 11,000ක (කෝටි 1,100ක්) ලාභයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

වර්ෂ 2015ට සාපේක්ෂව 2016 දී මෙම ලාබය ලබා ඇති අතර එම වසරේ මුළු ආදායම මිලියන 44,000ක් බව වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා පැවසීය.

සේවක ඉවත් කිරීම් කිසිවක් සිදු ‍නොකර සියලු දීමනා, වැටුප් වැඩිකිරීම් , අතිකාල දීමනා ලබා දී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවද සේවක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමත් අවිධිමත් අදායම් එක්කර ගැනීමත් මේ අනුව කළ බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

මේ අනුව වරාය කන්ටේනර් ලොරි සඳහා වාර්ෂිකව බලපත්‍රය සඳහා ඒ වන තෙක් නිසි ආදායමක් එකතුකර නොතිබුණු අතර එය ක්‍රමවත් කිරීම මගින් රුපියල් මිලියන 92ක මුදලක් එකතු කර ගැනීමට පසුගිය වසරේ හැකිව තිබේ.

ගින්නෙන් විනාශ වූ සී එෆ් එස් 1ගුදම නැවත යථාතත්වයට පත් කිරීම සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 410ක් වූ බවද එය වරාය සේවක හැකියාව අනුව රුපියල් මිලියන 175ක වියදමින් සකසා මුදල් ඉතිරිකර ගැනීමට හැකි වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

හම්බන්තොට වරායේ ණය හා පොලිය පියවීමට රුපියල් මිලියන 7100ක් වියදම් වී ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු ණය හා පොලිය රුපියල් මිලියන16700ක් පසුගිය වසරේ ලැබූ ආදායමෙන් ගෙවීමට සිදු වූ බව අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ ය.

මේ අනුව ලාභ නොලබා තිබුණු ගාල්ල හා ත්‍රිකුණාමලය වරායන්ද ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට මේ වන විට හැකි ව ඇති බව හෙතෙම අවධාරණය කළේය. ශ්‍රි ලංකා වරාය අධිකාරියේ 2015 වියදම වූ රුපියල් මිලියන 22600ක් වූ අතර එය 2016 වන විට මිලියන 20200 දක්වා අඩුකර ගැනීමට ද හැකි වූ බවත් ඒ අනුව හැකියාවන් ප්‍රවර්ධනය කරමින් නාස්තිය දූෂණය අවම කර ඉකුත් වසරේ 83%ක ලාබයක් ලැබීමට වරාය අධිකාරිය සමත්ව ඇති බව හෙතෙම පෙන්වා දුනනේ ය.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී ඇමති අර්ජුන රණතුංග මහතා එම අදහස් පළ කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts