මහේන්ද්‍රන්ගේ සියලු සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසමට භාරදීමට නියෝග

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 2015 සිට වසර 2016 දක්වා භාවිතා කරන ලද සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන අංශය වෙත වහාම භාරදෙන ලෙසට බැඳුම්කර කොමිසම ඊයේ (26) නියම කෙළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ සලකා බැලූ කොමිසම ඊයේ පෙරවරුවේ මෙම නියෝගය කළේය.

මෙතෙක්‌ කරන ලද පරීක්‌ෂණවල සොයා ගැනීම් අනුව මෙම සන්නිවේදන උපකරණ පිළිබඳව ඩිජිටල් වෝහාරික පරීක්‌ෂණයක්‌ කිරීම අත්‍යවශ්‍ය බවද කෝදාගොඩ මහතා කොමිසමට කීවේය. පරීක්‌ෂණ කොමිෂන් සභා පනතේ 6 වන වගන්තියට අනුව තමා මෙම ඉල්ලීම සිදුකරන බව කී කෝදාගොඩ මහතා ඇතැම් පුද්ගලයන්ගේ දුරකථන හදිසියේම නැතිවීම, විනාශයට පත්වීම, සිංගප්පූරුවේ ගොස්‌ සිටියදී නාන තටාකයකට වැටීම වැනි දේ සිදුව ඇති බවත් මේ පසුබිම තුළ අර්ජුන මහේන්ද්‍රන් මහතා ඔහු භාවිතා කළ එම සන්නිවේදන උපකරණ ඊයේ (26 දා) මධ්‍යහ්නයට පෙර වහාම කොමිසම වෙත භාරදීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්‌ බවත් කෝදාගොඩ මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා දැඩි විරෝධය පළ කළේය. තම සේවාදායකයා සම්බන්ධයෙන් මෙවැනි ඉල්ලීමක්‌ කළේ ප්‍රසිද්ධියට මිස අන් කිසිවකට නොවන බවද එහෙත් කොමිසම ඒ ගැන නියෝගයක්‌ කරනවා නම් තමා ඊට විරෝධය පළ නොකරන බවද නීතිඥ සිල්වා කීවේය.

නීතිඥ චානක ද සිල්වාට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මෙසේa කීවේය.

මේක මහජන කොමිසමක්‌. මේ කොමිසම පත් කළේ මහජන ඉල්ලීම මතයි. මේ කොමිසමේ බිත්ති අතර සිදුවන දේ මේ රටේ මහජනතාවට දැනගත යුතුයි. කොමිසම හමුවේ මෙම ඉල්ලීම කිරීම අප ගත් තීරණයක්‌. ඒ නිසා කොමිසමේ සිදුවන දේ මහජනතාව දැනගත යුතුයි. මෙතනට මාධ්‍ය පැමිණ සිටින්නේ එය මහජනතාවට දැනුම් දීමටයි.

නීතිඥවරුන්ගේ කරුණු දැක්‌වීම්වලට සවන් දීමෙන් පසු කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කීවේ එම කරුණු සලකා බලා නියෝගයක්‌ නිකුත් කරන බවයි.

ඉන්පසු නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගනිමින් කොමිසම ඉහත නියෝගය අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කරන ලදී.

සැඟවීමට කිසිම දෙයක් නොමැති බව සඳහන් කළ නීතිඥ චානක ද සිල්වා මහතා කොමිසමට සහාය දක්වමින් අදාළ විද්‍යුත් උපකරණ අවශ්‍ය වහාම ලබාදීමට තම සේවාදායකයා වන මහේන්ද්‍රන් මහතා පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදු විය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායම විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කරන බව කොමිසම ප්‍රකාශ කළේය.

RSL

Related Posts