2023/24 අධ්‍යන වර්ෂයේ විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම ජුනි 14 දා සිට

Spread the love

2023 වසරේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම   එළඹෙන 14 දා සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (6)  පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

2023 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කරගෙන 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිදයාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ විශ්වවිද්‍යල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත නිකුත් කිරීම සඳහා මේවන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විධිවිධාන සකස් කොට ඇති බව ද හෙතෙම පැවසීය.

මේ අවස්ථාව වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිස දරුවන්ට තමන්ගේ ජාතික හැඳුන්ම්පත් අංකය ලබා දී ශිෂ්‍ය අත්පොත තමන්ට කැමති භාෂාවකින් (සිංහල/දමිළ/ඉංශ්‍රිසි ) බාගත කර ගත හැකි බව කී ඒ මහතා දරුවන්ට ඒ සදහා රුපියල් 1000ක මුදලක්  ගෙවීමට සිදුවන බවත් එය බැංකුවකට , ක්‍රේඩිට් හෝ ඩිබෙට් කාඩ් මඟින් වුවද ගෙවීමට හැකි බවද කීය.

මෙවර ශිෂ්‍ය අත්පොත බාගත කිරීමෙන් පමණක් සිසුන්ට ලබා ගත හැකි බවත් පොත් සැල්වලින් මිලදි ගැනීමට හැකියාවක් නොමැති බවද කී ඒ මහතා බාගත කිරීමේදි  කුමක් හෝ ගැටළුවක් ඇතිවුවහොත් 011 269 5301 / 011 269 5302 යන දුරකතන අංක අමතා විසදුම් ලබා ගත හැකි බවද පෙන්වා දුන්නේය.

ශිෂ්‍ය අත්පොත බාගත කිරීමේන් පසුව 2024.06.14වැනිදා සිට 2024.07.05 දක්වා කාලය තුළදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පිවිස සිසුන්ට තමන්ගේ ඩිජිටල් අයදුම්පත යොමු කිරීමට නැවත වෙබ් අඩවිය විවෘත කරන බවත් තමන්ගේ සරසවි අයදුම්පත ඉතාම ප්‍රව්ශමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට කටයුතු කරන ලෙස තමන් සිසුන්ගේන් ඉල්ලා සිටන බවත් සභාපතිවරයා කීය.

එමෙන්ම 2024.07.05 පසුව තවත් සති දෙකක් එනම් 2024.07.19 දක්වා කාලය තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙළේ යම්කිසි වෙනසක් සිදු කිරීමට සිතුනොත් එය සිදු කිරීමට දරුවන්ට හැකියාව තිබෙන බව කී සභාපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ළකුණු අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී ඉතාම කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද කීය.

– මධූ වික්‍රමසිංහ

Related Posts