ඇමෙරිකන් MMA සටන් බිම උඩුයටිකු‍ටු කල ලාංකික තරුණයා.. මාපිලෙකු හා ද්වන්ධ සටනේ ජයග්‍රාහී සමීකරණය

Spread the love

මිනිසා  හා ක්‍රීඩාව අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. ක්‍රීඩාව මිනිසාගේ  එදිනෙදා ක්‍රියාකාරකම් උද්වේගකර වේදිකාවක් මතට ගෙන ආවේය. එපමණක් නොව ඔවුහු ඊට උත්තරීතර වතක්ද ආරෝපනය කළහ. එහි මෞලි මංගල්‍ය කූඨප්‍රාප්තියට පැමිනියේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරිනි. ‘ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලක් පමනක් නොව දෙවියන් උදෙසා පවත්වන පූජාවක් ද වූයේය.

ලාංකික කෙළිබිමේ  ස්වර්ණමය යුගය 80-90 දශකය යැයි පැවසුවහොත් එහි අතිශයෝක්තියක් නොවේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ජන  ජීවිතයට කොතරම් සමීපවූයේද යත්  එය ඔවුන්ට තවත් ආගමක් විය. එකල්හි දේශපාලකයෝ සහ ව්‍යාපාරිකයෝ ක්‍රීඩාවේ උන්නතියට කැප වූවෝය. ”තරුණ සේවා සභාව”,  ”ගාමිණි දිසානායක” වැනි නම් ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනේ එහෙයිනි. ක්‍රීඩාව නැමති රන් දොවොලේ යාතිකා කළ ප්‍රේමසර ඈපාසිංහලා, පාලිත පෙරේරලා, සමන් අතාවුදහෙට්ටිලා  පිරිසිදු මිනිසුන් වූහ. රූපවාහිනියේ ”සතියේ ක්‍රීඩා විසිතුරු” සහ ගුවන්විදුලියේ ”කෙළිමඬල” ජනතාව වැලඳ ගත්තේ හද පිරි ආදරයෙනි.

90 දශකයෙන් පසු ක්‍රීඩාවට හිතකර  වටපිටාව ක්‍රමයෙන් වෙනස් වූයේය. දූෂිත දේශපාලනඥයෝ සහ ව්‍යාපාරිකයෝ ක්‍රීඩාව ආක්‍රමණය කළෝය. ක්‍රීඩකයන් ලෙයින්, දහඩියෙන් ක්‍රීඩාව ජීවත් කරන විට  ක්‍රීඩාව විකුණා ජීවත්වන දූෂිත පැලැන්තියක් බිහි වූයේය. ලාංකික ක්‍රීඩාව විනාශ කළේ ඔවුන්ය . උන්ගේ අවැඩ අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයෝ උකටලී වූවෝය, ඇතැමුන් රට හැර ගියෝය.

මිශ්‍ර සටන් කලාවේ හෙවත් මික්ස් මාෂල් ආර්ට් (MMA) හි Conor McGregor යනු ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ හතර වැනියාය. අපේ කථාවේ කතානායකයා වන සචින්ත සෙනරත් ද මික්ස් මාෂල් ආර්ට් සටන්කරුවෙකි. ලංකාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ මේ ක්‍රීඩාවේ නියැලෙන සචින්ත අද ජීවත් වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් හි ය.   ඇමරිකානු මාධ්‍ය අද ඔහුව හඳුන්වන්නේ සචින්ත සෙනරත් හෙවත්  Cobra Jaw Breaker නැතිනම් ‘ ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ යන නාමයෙනි.  සචින්ත නිවියෝර්ක් සටන් බිමේ විජය කෙළි නගන්නේ ඔහුටම ආවේනික ශෛලියකිනි. අඩි හය හමාරක් උස තවමත් 23 හැවිරිදි වියේ සිටින සචින්ත සටන් බිමේ අපරාජිතය. A harmless man is not a good man” “a good man is a very, very dangerous man who has it under voluntary control”  අනතුරුදායක නොවන තැනැත්තා හොඳ මිනිසෙකු නොවේ. හොඳ මිනිසා යනු බෙහෙවින්ම දරුණු නමුත් ඒ දරුණුකම ස්වයංව පාලනය කරගෙන සිටින්නෙකි” යි ඔහු තම මුහුණු පොතේ සටහන් තබා තිබේ.  මේ කීර්ති රත්නායක සචින්ත සමග  කළ සංවාදයකි.

ප්‍රශ්නය : “ඔබ පිලිබඳව කෙටි විස්තරයක් කළොත්..?”

සචින්ත : “මගෙ පියා සරදා තිස්ස සෙනරත්. ඔහු ගුවන් හමුදා නිළධාරියෙක්. මව කුඩා කාලයේදීම අපෙන් වෙන් වුනා. මම අධ්‍යාපනය ලැබුවෙ ගේට්වේ ජාත්‍යන්තර පාසැලෙන්. පාසැල් යන කාලෙයේදී  මම පිහිනුම්, කරාටේ සහ ජූඩෝ ක්‍රීඩා කළා. අවු 15 දී මම ජාතික ජූඩෝ කණ්ඩායම නියෝජනය කළා, ඒ වගේම   ආසියාවෙ ටොප් 5 අතර සිටියා. මම   අඩි 6 යි අඟල් 5 ක් උසයි. පාසැල් ජීවිතයෙන් පසු මං නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කළා.”

ප්‍රශ්නය :  “ඇයි ඔබ නිරූපන ක්ෂේත්‍රයන් ඉවත් වුනේ ?”

සචින්ත : ලංකාවෙ නිරූපන ක්ෂේත්‍රය සමනලකරණයට නතු වෙලා අවසන්. ඒක කනගා‍ටුදායක තත්වයක්. මේක සමනලයො හෝ කැරපොත්තො පිලිබඳ ප්‍රහාරයක් නෙවෙයි. නමුත් වෘත්තියක්, ක්‍රීඩාවක් හෝ කලාවක් යම් කල්ලියක ග්‍රහණයට හසුවීම එහි ඉදිරි ගමනට බාධාවක්. එහිදී සිදු වෙන්නේ කැමති පිරිසට විශේෂ සැලකිලි ලැබීම සහ අනෙක් පිරිස කැපිලි කෙටිලි වලට ලක් වීම. පසුගියදා පැවැත්වුනු ”Mr Sri Lanka 2019” සමාජය තුල මහත් ආන්දෝලනයකට ලක් වුනෙත් ඔය හේතුව නිසා. මෙහි මූලික ලක්ෂණ මුලින්ම දු‍ටු නිසා තමයි මම නිරූපන ක්ෂේත්‍රයෙන් ඉවත් වුනේ.”

ප්‍රශ්නය : “අවු 15 දී  ආසියාවෙ ටොප් 5 අතර සිටි ඔබ ඇයි ඒ ක්‍රීඩාවට සමුදීල විදේශ ගත වුනේ ?”

සචින්ත : “නිරූපන ක්ෂේත්‍රයට වගේම ලංකාවෙ ක්‍රීඩාවටත් ඉදිරි ගමනක් නෑ. 2013 දී මම ජාතික කණ්ඩායම නියෝජනය කරමින් හොංකොං නුවර පැවති ජූඩෝ තරඟාවලියට සහභාගි වුනා. එම කන්ඩායමේ සිටි අනෙක් සියලු දෙනා ගම්බද තරුණයින්. අපේ කණ්ඩායමේ ගම්පොල ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙක් සිටියා. ඔවුන් ආර්ථික අතින් අග හිඟ කම් තිබුණු අය. ඔවුන් ක්‍රීඩාව ජීවත් කළා මිස ක්‍රීඩාවෙන් ජීවත් වුනු අය නොවෙයි. ඉන් එක් තරුණයෙක් සංචාරය සඳහා මුදල් සොයාගෙන තිබුනේ නිවස උගසට තැබීමෙන්. තවකෙක් මුදල් සොයා ගෙන තිබුනේ හිඟා නොකා හිඟා කමින්. නමුත් ක්‍රීඩා නොකරන නිලධාරීන් එම සංචාරයට පැමිනියේ රජයේ වියදමින්. එවක ක්‍රීඩා ඇමතිවරයා තම ගමේ එකෙකු බව ගේ දොර උගස් කළ තරුණයෙකු වේදනාවෙන් ප්‍රකාශ කළ අයුරු මට අද වගේ මතකයි.” (සචින්ත සඳහන් කළේ නාවලපිටියේ ක්‍රීඩා ඇමතියා විය යුතුය)

ප්‍රශ්නය : “ඔබ කොහොමද මික්ස් මාෂල් ආර්ට් MMA  සඳහා යොමු වුනේ?”

සචින්ත : “මේ ක්‍රීඩාවට යොමුවුනේ මගෙ යාළුවෙක් නිසා . ඩිශෝන් රවීන්ද්‍රන් කියන යාළුව එදා කළ මග පෙන්වීම නිසා තමා අද මම මෙතන ඉන්නේ. මට අවු 19 වෙන කොට ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ලැබුනා. නිව්යෝර්ක් වලට ආවම මට ඊශ්‍රායෙල් ජාතික පුහුණුකරුවෙකු හමු වුනා. professional MMA fighter කෙනෙක්. දැන් ඔහු හා සමග Conor McGregor වැනි ප්‍රවීනයන් සමග තරග කල හැකි පසුබිමක් නෑ. ඒ සඳහා කඩඉම් ගණනාවක් පසුකළ යුතුයි. MMA Triton Fights වලට සහභාගී වෙනව. එම තරඟ වලදීත් තවමත් මා අපරාජිතයි. දැනට තරග 2 ක් ජයග්‍රහණය කොට තිබෙනවා. එකක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඊලඟ තරගය අප්‍රියෙල් 12 දා නිව්යෝර්ක් හි දී පැවැත්වීමට නියමිතයි. ට්‍රයිටන් තරඟවල  ශූරතාවය දිනා ගැනීම තුලින් Ultimate Fighting Champion) තරඟ සඳහා ඉදිරිපත් වීමට හැකි වෙනවා. UFC සටන් බිම තමයි MMA ක්‍රීඩාවේ මුදුන් මල්කඩ.”

ප්‍රශ්නය : MMA UFC තරඟ  WWE ව්‍රෙස්ට්ලින්ග් තරඟ වලින් වෙනස් වන්නේ කෙසේද?

සචින්ත : (Entertainment) සඳහා රූ ගත කරන වැඩසටහනක්. අන්ඩර්ටේකර් , ජෝන් සීනා වැනි ප්‍රකට පුද්ගලයන් ක්‍රීඩකයන් නොවේ . ඔවුන් නළුවන් . ඔවුන් කරන්නේ ද්වන්ධ සටනක් නොව රඟපෑමක්. WWE wrestling කියන්නේ පැහැදිලිවම චිත්‍රපටියක්, ටෙලිනාට්‍යයක් වගේ එකක්. තාත්වික කිසිවක් එහි නෑ. නමුත් MMA UFC කියන්නෙ ක්‍රීඩාවක්. ඒ තුල සිදුවන සියල්ල තාත්විකයි. හැපීම, සීරීම සහ  ලිංගේන්ද්‍රියට පහරදීම තහනම් වන අතර ඉන් බැහැර ඕනෑම ප්‍රදේශයකට පහර දිය හැකියි. MMA UFC කියන්නෙ නියම ‘ප්‍රහාරකයා’  කවරෙක්ද යන්න  උරගා බලන සටනක්.”

ප්‍රශ්නය : “ක්‍රීඩාවේ මේ තාක් දුර පැමිනීමට ඔබට අත දුන්නේ කවුද?”

සචින්ත : “මම MMA  ක්‍රීඩා කරන්න යනවා යි කියූ විට ලංකාවේ මිනිස්සු මට හිනා වුනා. නිව්යෝර්ක් වල ශ්‍රී ලාංකිකයන් මට නිතරම උසුලු විසුළු කළා. නමුත් අපේ කලාපයේ අනෙක් ජාතිකයන් ඉන්දියානුවන් සහ පකිස්ථානුවන් නිතරම මා ධෛර්යමත් කළා. අසල්වැසියෙකු MMA ක්‍රීඩාවෙන් ඉදිරියට එනව දැකලා ඔවුන් ගොඩක් සතු‍ටු වුනා. නමුත් අපේ රටේ මිනිස්සු හැසිරුනේ හරිම කුහක විදියට.  නිව්යෝර්ක් සටන් බිම උඩුයටිකුරු කරමින් මා දිගින් දිගටම ජයග්‍රහණ වාර්තා කළා. එහෙ මිනිස්සු මම ගැන හොයන්න පටන් ගත්තා. ඔවුන් මගෙන් මුලින්ම ඇහුවේ රට මොකක්ද කියලා. මම කුරියර් සර්විස් එකක් හරහා ලංකාවේ කොඩිය ගෙන්වා ගත්තා. සිංහ කොඩිය මම වෙනුවෙන් වැනුවෙ ඉන්දියානුවන් සහ පාකිස්ථානුවන්.” 

“හැකි සෑම ආකාරයෙන්ම මම ලංකාවේ නම ඔසවා තබනවා. සටන්කාමීත්වය තුලින් විතරක් නෙවේ ඉවසීම වගේ හැදියාවන් තුලිනුත් මම අපේ කම ලෝකයට ගෙනියනව. ‘ෆේස් ඕෆ්’ එකේදී කැමරා ඉස්සරහ මම කවදාවත් ලොකු කථා කියන්නෙ නෑ. ”ශක්තිවන්තයා ජයගනීවී” මම කියන්නේ එපමණයි. තරඟයක් ජයග්‍රහණය කළ විට පරාජිතයාට කොකම් පාන්න යන්නෙත් නෑ. ජයග්‍රාහකයා නිවේදනය කළ පසු  ප්‍රතිවාදියාගේ අත ඔසවා ඔහුට ස්තූති  කරලා තමා මා සටන් බිමෙන් නික්ම යන්නේ”

පසු සටහන

”ලංකාවෙ නිරූපන ක්ෂේත්‍රය සමනලකරණයට නතු වෙලා අවසන්. ඒක කනගා‍ටුදායක තත්වයක්. මේක සමනලයො හෝ කැරපොත්තො පිලිබඳ ප්‍රහාරයක් නෙවෙයි. නමුත් වෘත්තියක්  ක්‍රිඩාවක් හෝ කලාවක් යම් කල්ලියක ග්‍රහනයට ලක්වීම  ඉදිරිගමනට බාධාවක්. එහිදී සිදු වෙන්නේ කැමති පිරිසට විශේෂ සැලකිලි ලැබීම සහ අනෙක් පිරිස කැපිලි කෙටිලි වලට ලක් වීම ”. සචින්තගේ ඉහත කථාව ලාංකීය දේශපාලනය ගැන  මොන තරම් කියවීමක් දැයි විමසීම ඔබට බාරය. ශ්‍රී ලංකාව නිදහස ලද දා පටන්  මංකොල්ල කාරයන්, බොරුකාරයන් සහ මිනීමරුවන් විසින් පාලනය කළ රටකි.  2019 එහි තවත් තීරනාතමක කඩ ඉමකි . දේශපාලන පොර පිටියේ එක් පසෙකින් පැමිණ ඇත්තේ මාපිලුන් ය. මාපිලුන් හා සටන් කිරීමට සමනලයෙකුට හැකිද ? මාපිලුන් හා කළ යුතු ද්වන්ධ සටනේ ජයග්‍රාහී සමීකරණය  මෙහි ගැබ්ව ඇත.

සාකච්ඡා කොට සකස් කළේ 

කීර්ති රත්නායක

සචින්ත සෙනරත් හෙවත් ‘කෝබ්‍රා නම් හක්ක තලන්නා’ සටන් කරන සහ පුහුණු වන අවස්ථා කිහිපයක් දැක්වෙන වීඩියෝවක් පහතින් 

RSL

Related Posts